දකුණු දිග සුළඟ මදින් මද ව හමන්නට වූ කල, තම අදහස ඉටුවිනැයි සිතූ ඔවුහු නැංගුරම් ඔසවා ක්‍රීත වෙරළ ආසන්නයේ යාත්‍රා කරන්නට වන්හ. වැඩි වේලාවක් යන්නට මත්තෙන්, යූරකුලෝ නමින් හැඳින්වෙන චණ්ඩ මාරුතය ගොඩ බිම දෙසින් ගසා හමන්නට වන්නේ ය; නැව කුණාටුවට හසුවූයෙන්, එය සුළං අතට හරවා ගැනීමට බැරි විය. එබැවින් ඒ ප්‍රයත්නය අත් හළ විට අප ගසා ගෙන යැවිණ. අප කවුදා නම් කුඩා දිවයිනෙහි ගොඩ බිම් මුවාවෙන් පාවී යද්දී, මහත් වෙහෙසක් දරා ජීවිතාරක්ෂක බෝට්ටුව බේරා ගතිමු. බෝට්ටුව ඔසවා නැවට ගත් නැවියෝ, නැව්බඳ සවිමත් කරන්නට කඹ නැව යටින් දමා බැන්දහ. සර්ටිස්හි වැලි කණ්ඩිවල නැව ගැටේ ය යන බියෙන් ඔවුහු පාවෙන නැංගුරම දමා, නැව පාවී යන්නට ඉඩ හළහ. කුණාටුව සැහැසි ව අපට පහර දෙන්නට වූයෙන්, ඔවුහු පසු දා නැව් බඩු නැවෙන් පිටතට දැමූහ. තුන් වන දිනයේ ඔවුහු නැවේ උපකරණ ද තම අත්වලින් ම නැවෙන් පිටත හෙළූහ. දින ගණනාවක් හිරු හෝ තරු හෝ නො පෙනී, කුණාටුව ද නො නැවතීම වියරු වූයෙන්, ගැලවීම ගැන තිබූ සියලු බලාපොරොත්තු අවසානයේදී අපි අත්හැර දැමීමු.
ඔවුන් බොහෝ දිනක් කිසි අහරක් නො ගෙන සිටියදී, පාවුල් ඔවුන් ඉදිරියට ගොස්, “මිනිසුනි, ක්‍රීතයේ සිට යාත්‍රා නො කරන ලෙස මා දුන් අවවාදය ඔබ පිළිගත යුතු ව තිබුණා. එසේ වී නම් මේ හානියත්, අලාභයත් නො වන්න තිබුණා. කෙසේ වුවත්, දැන් මා ඕනෑකමින් ඔබෙන් ඉල්ලා සිටින්නේ, ධෛර්යවත් ව සිටින ලෙසයි. ජීවිත හානියක් ඔබ කිසිවකුටත් සිදු වන්නේ නෑ; විනාශ වනු ඇත්තේ නැව පමණයි. මා අයිති, මා සේවය කරන දෙවියන්වහන්සේගේ දූතයෙක් ඊයේ රෑ මා පසෙකින් සිට, ‘පාවුල් බය නො වන්න! ඔබ සීසර් ඉදිරියේ පෙනී සිටිය යුතුයි. ඔන්න! ඔබ සමඟ යාත්‍රා කරන සියලු දෙනාගේ ජීවිත, දෙවියන්වහන්සේ ඔබට ප්‍රදාන කර ඇතැ’ යි කීවා. එබැවින් මිනිසුනේ, ධෛර්යය ඇතිකර ගන්න; මන්ද මම දෙවියන්වහන්සේ විශ්වාස කරමි. සිදු වන්නේ උන්වහන්සේ මට කී විදියටමයි. කෙසේ වෙතත්, අප කිසියම් දිවයින් වෙරළකට ගසා ගෙන යා යුතු ව ඇතැ” යි පැවසී ය.
දාහතර වන දවසේ රැයේ අප සිටියේ අද්‍රියාතික මුහුදේ ගසා ගෙන යමින් ය. රෑ මැදියම පමණ වන විට, අප ගොඩ බිමකට ළඟා වන බැව් නැවියන්ට දැනී ගියේ ය. ඔවුන් එතැන ගැඹුර මැන බැලූ කල, බඹ විස්සක් වග පෙනී ගියේ ය; මද වෙලාවකට පසු යළි මැන බැලූ කල, ගැඹුර බඹ පහළොවක් විය. ගල් පරවල අප හැපෙතැයි බයෙන් ඔවුහු නැව් අවරයෙන් නැංගුරම් හතරක් දමා, හිරු උදාව තෙක් ආශාවෙන් බලා සිටියහ. නැව් ඇණියෙන් ද නැංගුරම් ලන්නට යන වග ඇඟවූ නැවියෝ නැවෙන් පලා යන්නට බලමින් නැවේ බෝට්ටුව මුහුදට පහත් කළහ. එවිට පාවුල්, “මේ මිනිසුන් නැවේ ම සිටියොත් මිස, ඔබට ගැලවී යා නො හැකි” යි සියයේ හේවාපන්න නිලධාරියා හා හේවායින්ට කී ය. එවිට හේවායෝ බෝට්ටුව නැවට බැඳ තිබූ රැහැන් කපා එය ඉවත පාවී යන්නට හැරියහ.
පහන් වන්නට ආසන්නයේ යමක් ආහාරයට ගන්නැයි පාවුල් උදක් ම ඔවුන්ගෙන් ඉල්ලී ය. “කුමක් වේ දෝයි නො දැන දිගට ම දෙගිඩියාවෙන් පසුගිය දවස් දාහතර ඔබ ගත කළේ නිරාහාර ව; ඔබ කිසිවක් කෑවේ නෑ. දැන් මා ඉතා ඕනෑකමින් ඔබෙන් ඉල්ලනවා ආහාරයක් ගන්නා ලෙස. එය ඔබගේ දිවි රැක ගැනීමට අවශ්‍ය ය; ඔබ කිසිවකුගේ හිසකේ ගසකටවත් හානියක් සිදු වන්නේ නැතැ” යි පැවසූ පාවුල්, අනතුරුව රොටි ගෙන, ඔවුන් හැම බලා සිටියදී දෙවියන්වහන්සේට ස්තුති කර, ඒවා කඩා, කෑමට වන්නේ ය. ඉන් අනුබල ලද ඔවුහු කැමැත්තෙන් ම ආහාර ගත්හ. නැවෙහි වූ අප සියල්ලෝ දෙසිය හැත්තෑ හයදෙනෙකි. ඇති තරම් කෑ ඔවුහු, නැවේ තිබූ ධාන්‍ය ද මුහුදේ හෙළා නැව සැහැල්ලු කළහ.
දවස උදා වූ පසු, ඒ ගොඩ බිම හඳුනා ගැනීමට ඔවුන්ට බැරි විය. එහෙත් වෙරළක් සහිත මුහුදු බොක්කක් දුටු ඔවුහු හැකි වේ නම් නැව එහි ගෙන යෑමට තීරණය කළහ. නැංගුරම් කපා, ඒවා මුහුදට හැර දැමූ ඔවුහු, සුක්කානම් හබල් බැඳි රැහැන් ද මුදා හළහ. ඉන්පසු ඔවුහු නැවේ ඉදිරි රුවල නගා, නැව සුළඟින් වෙරළට ගසා ගෙන යන්නට සැලැස්වූහ. එහෙත් නැව වැලි කණ්ඩියක හැපී, වැල්ලේ එරිණි. නැව් ඇණිය එරී සොලවන්නට බැරි විය; නැව් අවරය හැපී, බිඳෙන සැඩ රළින් කෑලිවලට කැඩී යන්නට විණි.
සිරකරුවන් පිහිනා පැන යෑම වැළැක්වීමට හේවායෝ ඔවුන් මරා දමන්නට සැරසුණහ. එහෙත් පාවුල් ආරක්ෂා කිරීමට ඕනෑ වූ සියයේ හේවාපන්න නිලධාරියා ඔවුන්ගේ සැලසුම වැළැක්විය. පිහිනීමට හැකි අය පළමු කොට නැවෙන් පැන ගොඩට යන ලෙස ඔහු අණ කළේ ය. සෙසු අය ලෑලි හෝ නැවේ සුන්බුන්වල ආධාරයෙන් ගොඩට යා යුතු විය. මෙසේ සියල්ලෝ ම ආරක්ෂා සහිත ව ගොඩ බිමට වන්හ.