ක්‍රියා 26:26-32

ක්‍රියා 26:26-32 SCV

මා කියන දෑ රජතුමා හොඳින් ම දනී; එබැවින් විවෘතවයි එතුමන්ට මා කතා කරන්නේ; මේ කිසිවක් අස්සක, මුල්ලකදී කළ දෑ නො වන බැවින්, මින් කිසිවක් එතුමාගේ දැනගැන්මෙන් සැඟවී නැති බව මම ඒත්තු ගෙන සිටිමි. අග්‍රිපා රජතුමනි, ඔබ දිවැසිවරුන් විශ්වාස කරනවා නො වේ ද? ඔබ විශ්වාස කරන බව මම දනිමි” යි කීවේ ය. එවිට අග්‍රිපා රජු පාවුල් අමතමින්, “වැඩි උත්සාහයක් නැතුව ම ඔබ මා ක්‍රිස්තියානිකාරයකු කරන්නට සිතනවා වගේ යැ?” යි පැවසී ය. “සුළු වේලාවකින් හෝ දිගු කලකින් හෝ ඔබත්, අද මට සවන් දෙන සැවොමත් මේ යදම්වලින් තොර ව, මා වගේ වේවායි මම දෙවියන්වහන්සේට යාච්ඤා කරමි” යි පාවුල් පිළිතුරු දුන්නේ ය. එවිට රජු නැගිට්ටේ ය; ආණ්ඩුකාරයා ද බෙර්නිකී ද ඔවුන් සමඟ අසුන් ගෙන සිටි අය ද නැගිටුණෝ ය. ඔවුහු ශාලාවෙන් පිටතට එමින්, “මේ මිනිසා මරණයටවත්, සිරගත වීමටවත් හේතු වන කිසිවක් කර නැතැ” යි කීහ. “සීසර්ගේ විනිශ්චය නො ඉල්ලුවේ නම් මේ මිනිසා නිදහස් කර හරින්නට තිබිණැ” යි අග්‍රිපා පෙස්තුස්ට පැවසී ය.