ක්‍රියා 25:1-22

ක්‍රියා 25:1-22 SCV

එම පළාතට පැමිණි පෙස්තුස් තුන් දිනකට පසු, කායිසාරියේ සිට යෙරුසලමට ගියේ ය. එහිදී නායක පූජකයෝ හා යුදෙව් නායකයෝ පාවුල්ට එරෙහි පැමිණිල්ල ඔහුට ඉදිරිපත් කළහ. තමන්ට කරන උපකාරයක් වශයෙන් පාවුල් යෙරුසලමට මාරු කර එවන ලෙස ඔවුහු පෙස්තුස්ගෙන් උදක් ම ඉල්ලූහ. එසේ කළේ, එහි ගෙන එන අතරේ රැක සිට ඔහු මරා දැමීමට ඔවුන් උපා යෙදූ බැවිනි. පෙස්තුස් පිළිතුරු දෙමින්, “පාවුල් කායිසාරියේ රඳවා සිටියි. මමත් ඉක්මනින් එහි යෑමට අදහස් කරමි. එබැවින් සුදුසු නායකයින් මා සමඟ ගොස්, ඒ මිනිසා අත යම් වරදක් වෙතොත්, ඔහුට එරෙහි චෝදනා එහිදී ඉදිරිපත් කරත්වා” යි පැවසී ය. දින අටක්, දහයක් ඔවුන් අතරේ ගත කළ ඔහු ඉන්පසු කායිසාරියට ගියේ ය. පසු දින ඔහු අධිකරණ අසුනේ හිඳ, තමා ඉදිරියට පාවුල් ගෙන ඒමට අණ කළේ ය. ඔහු පැමිණි පසු, යෙරුසලමේ සිට ආ යුදෙව්වරු, ඔහු වටකර, තමනට කිසි සේත් ඔප්පු කළ නො හැකි බරපතළ චෝදනා රැසක් ඔහුට එරෙහිව නගන්නට වූහ. පාවුල් සිය නිදහසට කරුණු දක්වමින්, “යුදෙව්වරුන්ගේ ව්‍යවස්ථාවට විරුද්ධ ව හෝ දේව මාලිගාවට විරුද්ධ ව හෝ සීසර්ට විරුද්ධ ව මා කිසි වරදක් කර නැතැ” යි කීවේ ය. එහෙත් යුදෙව්වරුන් සතුටු කරන්නට කැමති වූ පෙස්තුස් පාවුල් අමතමින්, “හොඳයි, යෙරුසලමට ගොස්, මා ඉදිරියේ මේ චෝදනා ගැන නඩු විභාගයට සූදානම් දැ?” යි ඇසී ය. පාවුල් පිළිතුරු දෙමින්, “මා සිටින්නේ සීසර්ගේ අධිකරණය ඉදිරියේයි. මා විනිශ්චය කළ යුත්තේ මෙහිදීයි. ඔබ හොඳින් ම දන්නා පරිදි යුදෙව්වරුන්ට මා කිසි වරදක් කර නැත. එහෙත් මා මරණ දඬුවමට සුදුසු වරදකරුවකු වේ නම්, මරණය ප්‍රතික්ෂේප නො කරමි. එහෙත් මට විරුද්ධ ව මේ යුදෙව්වරුන් නගන චෝදනා අසත්‍ය නම්, ඔවුන් අතට මා පාවා දීමේ අයිතියක් කිසිවකුටත් නැත. මම සීසර්ගේ විනිශ්චය ඉල්ලමි” යි කීවේ ය. එවිට පෙස්තුස් තම උපදේශක මණ්ඩලය සමඟ සාකච්ඡා කොට, “ඔබ සීසර්ගේ විනිශ්චය ඉල්ලුවේ ය; සීසර් වෙත ඔබ යනු ඇතැ” යි ප්‍රකාශ කළේ ය. ටික කලකට පසු, අග්‍රිපා රජු හා බෙර්නිකී, පෙස්තුස් පිළිගන්නට කායිසාරියට ආහ. ඔවුන් බොහෝ දවසක් එහි නැවතී සිටියෙන්, පෙස්තුස් පාවුල්ගේ නඩුව ගැන රජු සමඟ සාකච්ඡා කරමින්, “පීලික්ස් සිරකරුවකු ලෙස තැබූ මිනිසෙක් මෙහි සිටී. මා යෙරුසලමට ගිය විට නායක පූජකවරු හා යුදෙව් ජන ප්‍රධානීහු ඒ මිනිසාට එරෙහිව පැමිණිලි කරමින් ඔහුට දඬුවම් නියම කරන්නැයි මගෙන් ඉල්ලුවා. “මා ඔවුන්ට කීවේ, යම් කෙනකු ඔහුගේ පැමිණිලිකරුවන්ට මුහුණට මුහුණ නො ගස්වා, ඔවුන්ගේ චෝදනා ගැන නිදහසට කරුණු දක්වන්නට ඔහුට අවස්ථාවක් නො දී, කිසිවකු දඬුවමට පාවා දීම රෝමවරුන්ගේ පිළිවෙත නො වන වගයි. ඔවුන් මෙහි පැමිණි විට, මා පමා නො කොට පසු දා ම අධිකරණය රැස් කරවා, ඒ මිනිසා ගෙනෙන්නට අණ කළා; පැමිණිලිකරුවන් ඔහුට චෝදනා නගන්නට නැගිටුණු නමුත්, මා අපේක්ෂා කළ අපරාධයක් ගැන කිසි ම චෝදනාවක් ඔවුන් කළේ නැහැ. ඒ වෙනුවට ඔවුන්ට වූයේ ඔවුන්ගේ ආගම පිළිබඳව හා ජීවත් ව සිටිතැයි පාවුල් අවධාරණ කරන යේසුස් නම් මිය ගිය කෙනකු පිළිබඳ තර්කයට කරුණුයි. මේ නඩුව විභාග කරන්නේ කෙසේදැයි මට සිතාගන්නට නො හැකි වුණා. එබැවින් යෙරුසලමට ගොස් එහිදී මෙම චෝදනා ගැන විභාග කරනවාට කැමතිදැයි මා ඔහුගෙන් ඇසුවා. එහෙත් පාවුල්, අධිරාජයාගේ තීන්දුවට නඩුව තබා ගන්නට ඉල්ලූ නිසා සීසර් වෙත යවන තෙක් ඔහු සිර බාරයේ තබන්නට මා අණ කළා” යි පැවසී ය. එවිට අග්‍රිපා පෙස්තුස් අමතමින්, “ඒ මනුෂ්‍යයා කතා කරනවා අහන්නට මාත් කැමති” යි කීවේ ය. “හෙට ම, ඔබ ඔහුට සවන් දෙනු ඇතැ” යි ඔහු කීවේ ය.