ක්‍රියා 24:17-27

ක්‍රියා 24:17-27 SCV

“වසරකට පසු මා යෙරුසලමට ආවේ, මගේ ජනයාට සහනාධාර දීමටත්, පඬුරු ඔප්පු කිරීමටත් ය. දේව මාලිගාව තුළ මා එසේ කරමින් සිටියදී, ඔවුන් මා දකින වෙලාවේ මා සිටියේ චාරිත්‍රානුකූලව පවිත්‍රවයි. මා සමඟ සමූහයක් සිටියේවත්, මා කිසි කලබලයක් කළේවත් නැහැ. එහෙත් එවේලේ එහි සිටි ආසියා කලාපයෙන් පැමිණි යුදෙව්වරුන් කීප දෙනාට මට එරෙහිව යම් චෝදනාවක් ඇත්නම්, ඔවුන් ම මෙහි පැමිණ ඔබ ඉදිරියේ ඒ චෝදනා ඉදිරිපත් කිරීම යුතු ව තිබුණා. නැතහොත් මන්ත්‍රණ සභාව ඉදිරිපිට මා කවර අපරාධයක් කරනවා ඔවුන් දුටුවේ ද කියා දැන් මෙහි සිටින මේ මිනිසුන් පැමිණිලි කරත්වා. මා ඔවුන් ඉදිරියේ සිට හඬ ගා කී එක ම දේ නම්, ‘ඔබ ඉදිරියේ අද මා විනිශ්චයට ලක් ව ඇත්තේ මළවුන්ගෙන් නැගිටීමේ කාරණය ගැන ය’ කියා යැ” යි කියමින් පාවුල් කතාව නිම කළේ ය. ධර්ම-මාර්ගය ගැන මැනවින් දැන සිටි පීලික්ස් නඩු වාරය නිම කරමින්, “සෙන්පති ලිසියස් පැමිණි පසු මම ඔබේ නඩුව තීන්දු කරමි” යි කීවේ ය. තවද පාවුල් සිර බාරයේ තබන ලෙසත්, තරමක නිදහසක් ඔහුට දෙන ලෙසත්, ඔහුගේ අවශ්‍යතා සොයා බලන්නට ඔහුගේ මිතුරන්ට තහනම් නො කරන ලෙසත්, සියයේ හේවාපන්න නිලධාරියකුට ඔහු නියෝග කළේ ය. ටික දිනකට පසු පීලික්ස්, යුදෙව් ස්ත්‍රියක වූ දෘසිල්ලා නම් සිය භාර්යාව කැටිව අවුත්, පාවුල් කැඳවා, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ඇදහිල්ල ගැන ඔහු කතා කරනු අසා සිටියේ ය. ධර්මිෂ්ඨකම ගැන ද ආත්ම දමනය ගැන ද මතු පැමිණෙන විනිශ්චය ගැන ද පාවුල් කරුණු කියද්දී බයට පත් පීලික්ස්, “දැනට ඔය ඇති! ඔබට යන්න පුළුවනි. ඉඩ ලැබුණු විටෙක මම යළිත් ඔබට අඬගසන්නම්” යි කීවේ ය. තවද පාවුල් තමාට අල්ලසක් දෙතැයි බලාපොරොත්තුව ඔහු වරින් වර පාවුල් තමා වෙත කැඳවා, ඔහු හා කතා බහ කළේ ය. එහෙත් වසර දෙකකට පසු පීලික්ස්ගේ තනතුරට පොර්කියස් පෙස්තුස් පත් ව ආවේ ය. යුදෙව්වරුන් සතුටු කිරීමට කැමති වූ පීලික්ස්, පාවුල් සිර බාරයේ ම සිටින්නට හැරියේ ය.