ක්‍රියා 24:10-21
ක්‍රියා 24:10-21 SCV
කතා කරන ලෙස ආණ්ඩුකාරයා සංඥා කළෙන්, පාවුල් පිළිතුරු දෙමින්, “ඔබතුමා වසර ගණනාවක් මේ ජාතියට විනිශ්චයකරුවකු ව සිටින වග දනිමි; එබැවින් ඉතා සතුටින් මගේ නිදහසට කරුණු ගෙන හැර දක්වමි. නමස්කාර කරන පිණිස, මා යෙරුසලමට ගොස් තවම දොළොස් දිනකට වඩා නැති බව සොයා දැනගැනීමට ඔබට පුළුවන. දේව මාලිගයේ මා කිසිවකු සමඟ වාද කරනවා මේ පැමිණිලිකරුවන් දැක නැත. සිනගෝගයේදී හෝ නගරයේ වෙන යම් තැනකදී මා ජනයා කලඹවනවා ද ඔවුන් දැක නැත. එසේ ම දැන් මට එරෙහිව ඔවුන් නගන චෝදනා, ඔබ ඉදිරියේ ඔප්පු කරන්නට ද ඔවුන්ට බැරි ය. කෙසේ වුව ද නිකායකැයි ඔවුන් හඳුන්වන මෙම ධර්ම-මාර්ගයේ අනුගාමිකයකු වශයෙන් මම, අපේ පියවරුන්ගේ දෙවියන්වහන්සේට නමස්කාර කරන්නෙක් වග පිළිගනිමි. එසේ ම ව්‍යවස්ථාවට අදාළ හැම දෙයක් ගැනත්, දිවැස්වැකිවල සඳහන් දෑ ගැනත් මම විශ්වාස කරමි. තවද ධර්මිෂ්ඨයින් හා අධර්මිෂ්ඨයින් යන දෙගොල්ලන්ගේ ම නැවත නැගිටීමක් ඇතැයි දෙවියන්වහන්සේ තුළ මොවුන්ට ඇති බලාපොරොත්තුව ම මට ද ඇත. එබැවින් දෙවියන්වහන්සේ හා මිනිසුන් ඉදිරියේ පිරිසිදු හෘද සාක්ෂියකින් සිටින්නට සැම විට පරිශ්රම දරමි. “වසරකට පසු මා යෙරුසලමට ආවේ, මගේ ජනයාට සහනාධාර දීමටත්, පඬුරු ඔප්පු කිරීමටත් ය. දේව මාලිගාව තුළ මා එසේ කරමින් සිටියදී, ඔවුන් මා දකින වෙලාවේ මා සිටියේ චාරිත්‍රානුකූලව පවිත්‍රවයි. මා සමඟ සමූහයක් සිටියේවත්, මා කිසි කලබලයක් කළේවත් නැහැ. එහෙත් එවේලේ එහි සිටි ආසියා කලාපයෙන් පැමිණි යුදෙව්වරුන් කීප දෙනාට මට එරෙහිව යම් චෝදනාවක් ඇත්නම්, ඔවුන් ම මෙහි පැමිණ ඔබ ඉදිරියේ ඒ චෝදනා ඉදිරිපත් කිරීම යුතු ව තිබුණා. නැතහොත් මන්ත්‍රණ සභාව ඉදිරිපිට මා කවර අපරාධයක් කරනවා ඔවුන් දුටුවේ ද කියා දැන් මෙහි සිටින මේ මිනිසුන් පැමිණිලි කරත්වා. මා ඔවුන් ඉදිරියේ සිට හඬ ගා කී එක ම දේ නම්, ‘ඔබ ඉදිරියේ අද මා විනිශ්චයට ලක් ව ඇත්තේ මළවුන්ගෙන් නැගිටීමේ කාරණය ගැන ය’ කියා යැ” යි කියමින් පාවුල් කතාව නිම කළේ ය.

