ක්‍රියා 24:1-21

ක්‍රියා 24:1-21 SCV

පස් දිනකට පසු, උත්තම පූජක අනනියස්, වැඩිහිටියන් කීප දෙනෙක් හා තෙර්තුලස් නම් නීතිඥයා කැටිව, කායිසාරියට පැමිණියේ ය. ඔවුහු පාවුල්ට එරෙහි චෝදනා ආණ්ඩුකාරයා වෙත ඉදිරිපත් කළහ. පාවුල් ඇතුළට කැඳවනු ලැබූ කල, තෙර්තුලස් පැමිණිල්ල ඉදිරිපත් කරමින්: “ඔබතුමන් යටතේ අපට දීර්ඝ සාමකාමී කාලයක් භුක්ති විඳින්නට ලැබුණු බවත්, ඔබගේ දූරදර්ශීකමින් මේ ජාතියට ප්‍රතිසංස්කරණ රැසක් සිදු වූ බවත්, අතිගරු පීලික්ස් තුමනි, හැම තැනකදී, හැම අයුරින් අපි මහත් කෘතඥතාවෙන් යුතු ව පිළිගනිමු. තවත් ඔබ වෙහෙස නො කරන පිණිස අප දැන් ලුහුඬින් කියන දේට කරුණාවෙන් සවන් දෙන මෙන් ඉල්ලමි. “මේ මිනිසා ලොව පුරා යුදෙව්වරුන් කැරලිකාරකමට පොලඹවන අයෙක් බව අපි දැන ගතිමු. ඔහු නාසරීනු නිකායේ කල්ලි නායකයෙක්. ඔහු අපේ දේව මාලිගාව පවා දූෂ්‍ය කරන්නට වෙර දැරුවා; එනිසා අපි ඔහු අල්ලා ගත්තා. අපගේ ව්‍යවස්ථාවට අනුව ඔහු විනිශ්චය කරන්නට අපට වුවමනා වුවත්, සෙන්පති ලිසියස් පැමිණ, මහත් බලහත්කාරයෙන් අපේ අත්වලින් ඔහු උදුරාගෙන, ඔහුට වරද තබන පිණිස ඔබ වෙතට ඒමට අණ කළේ ය. අප ඔහුට විරුද්ධ ව නගන මේ සියලු චෝදනාවල සත්‍යතාව, ඔහු විභාග කිරීමෙන් ඔබට ම දැනගත හැකි වනු ඇතැ” යි කීවේ ය. යුදෙව්වරු ද චෝදනා කරන්නට හවුල් වෙමින්, ඒවා සත්‍ය බව සහතික කළහ. කතා කරන ලෙස ආණ්ඩුකාරයා සංඥා කළෙන්, පාවුල් පිළිතුරු දෙමින්, “ඔබතුමා වසර ගණනාවක් මේ ජාතියට විනිශ්චයකරුවකු ව සිටින වග දනිමි; එබැවින් ඉතා සතුටින් මගේ නිදහසට කරුණු ගෙන හැර දක්වමි. නමස්කාර කරන පිණිස, මා යෙරුසලමට ගොස් තවම දොළොස් දිනකට වඩා නැති බව සොයා දැනගැනීමට ඔබට පුළුවන. දේව මාලිගයේ මා කිසිවකු සමඟ වාද කරනවා මේ පැමිණිලිකරුවන් දැක නැත. සිනගෝගයේදී හෝ නගරයේ වෙන යම් තැනකදී මා ජනයා කලඹවනවා ද ඔවුන් දැක නැත. එසේ ම දැන් මට එරෙහිව ඔවුන් නගන චෝදනා, ඔබ ඉදිරියේ ඔප්පු කරන්නට ද ඔවුන්ට බැරි ය. කෙසේ වුව ද නිකායකැයි ඔවුන් හඳුන්වන මෙම ධර්ම-මාර්ගයේ අනුගාමිකයකු වශයෙන් මම, අපේ පියවරුන්ගේ දෙවියන්වහන්සේට නමස්කාර කරන්නෙක් වග පිළිගනිමි. එසේ ම ව්‍යවස්ථාවට අදාළ හැම දෙයක් ගැනත්, දිවැස්වැකිවල සඳහන් දෑ ගැනත් මම විශ්වාස කරමි. තවද ධර්මිෂ්ඨයින් හා අධර්මිෂ්ඨයින් යන දෙගොල්ලන්ගේ ම නැවත නැගිටීමක් ඇතැයි දෙවියන්වහන්සේ තුළ මොවුන්ට ඇති බලාපොරොත්තුව ම මට ද ඇත. එබැවින් දෙවියන්වහන්සේ හා මිනිසුන් ඉදිරියේ පිරිසිදු හෘද සාක්ෂියකින් සිටින්නට සැම විට පරිශ්‍රම දරමි. “වසරකට පසු මා යෙරුසලමට ආවේ, මගේ ජනයාට සහනාධාර දීමටත්, පඬුරු ඔප්පු කිරීමටත් ය. දේව මාලිගාව තුළ මා එසේ කරමින් සිටියදී, ඔවුන් මා දකින වෙලාවේ මා සිටියේ චාරිත්‍රානුකූලව පවිත්‍රවයි. මා සමඟ සමූහයක් සිටියේවත්, මා කිසි කලබලයක් කළේවත් නැහැ. එහෙත් එවේලේ එහි සිටි ආසියා කලාපයෙන් පැමිණි යුදෙව්වරුන් කීප දෙනාට මට එරෙහිව යම් චෝදනාවක් ඇත්නම්, ඔවුන් ම මෙහි පැමිණ ඔබ ඉදිරියේ ඒ චෝදනා ඉදිරිපත් කිරීම යුතු ව තිබුණා. නැතහොත් මන්ත්‍රණ සභාව ඉදිරිපිට මා කවර අපරාධයක් කරනවා ඔවුන් දුටුවේ ද කියා දැන් මෙහි සිටින මේ මිනිසුන් පැමිණිලි කරත්වා. මා ඔවුන් ඉදිරියේ සිට හඬ ගා කී එක ම දේ නම්, ‘ඔබ ඉදිරියේ අද මා විනිශ්චයට ලක් ව ඇත්තේ මළවුන්ගෙන් නැගිටීමේ කාරණය ගැන ය’ කියා යැ” යි කියමින් පාවුල් කතාව නිම කළේ ය.