ක්‍රියා 22:17-28
ක්‍රියා 22:17-28 SCV
“මා යෙරුසලමට ආපසු ඇවිත්, දේව මාලිගයේ යාච්ඤා කරමින් සිටියා. එසේ සිටියදී මා දැහැනකට වැටී, ස්වාමින්වහන්සේ මා අමතනු දුටුවා; උන්වහන්සේ, ‘ඉක්මන් කරන්න! හනික යෙරුසලමෙන් පිටවන්න; මන්ද මා ගැන ඔබ කී සාක්ෂිය ඔවුන් පිළිගන්නේ නැතැ’ යි කීවා. “මා ඊට පිළිතුරු දෙමින්, ‘ස්වාමින්වහන්ස, ඔබවහන්සේ අදහාගත්තවුන් සිරබාරයට ගනිමින්, ඔවුන්ට තළා පෙළමින්, සිනගෝගයෙන් සිනගෝගයට මා ගිය අයුරු මේ මිනිසුන් හොඳින් ම දන්නවා. ඔබ උදෙසා දිවි දුන් ස්තේපන්ගේ ලේ හලනු ලබද්දී, ඔහු මැරූවන්ගේ උතුරු සළු බලා ගනිමින්, මමත් එතැන ම සිට ඒ ක්‍රියාව අනුමත කළා’ යි මා කීවා. “එවිට ස්වාමින්වහන්සේ, ‘යන්න; මම අන්‍ය-ජාතීන් වෙත දුර බැහැරට ඔබ යවන්නෙමි’ යි කී සේකැ” යි පැවසී ය. පාවුල් එසේ කියන තෙක් සමූහයා ඔහු කී දේ අසා සිටියහ. එවිට ඔවුහු උස් හඬින් කෑ ගසමින්, “මොහු පොළොවෙන් සිඳ දමව්! ඔහු ජීවත් වෙන්නට සුදුසු නැතැ” යි ඝෝෂා කරන්නට වන්හ. ඔවුහු කෑ ගසන්නට හා කබා ඉහළ වීසි කරමින්, ධූලි දමා ගසන්නට වන් කල, කඳවුර තුළට පාවුල් ගෙන යන ලෙස නියෝග කළ සෙන්පති, ඔහුට එරෙහිව ජනයා මෙලෙස කෑ-කෝ ගැසීමේ හේතු කවරේදැයි දැනගැනීමට ඔහුට කස පහර දී, ප්‍රශ්න කරන්නට උපදෙස් දුන්නේ ය. කස පහර දෙන්නට ඔවුන් ඔහු බැඳ දැමූ කල, එතැන සිටි සියයේ සෙන්පති ඇමතූ පාවුල්, “විභාගයක් නො පවත්වා රෝම පුරවැසියකුට කස පහර දීම නිත්‍යානුකූල දැ?” යි ඇසී ය. ඒ ඇසූ එම නිලධාරියා සෙන්පති වෙත ගොස්, ඒ වග දැනුම් දෙමින්, “මොකක් ද ඔබ මේ කරන්නට යන්නේ? ඒ මනුෂ්‍යයා රෝම පුරවැසියෙකැ” යි කීවේ ය. එවිට සෙන්පති පාවුල් වෙත අවුත්, “මට කියන්න; ඔබ රෝම පුරවැසියෙක් දැ?” යි ඇසී ය. “එසේ යැ” යි පාවුල් පිළිතුරු දිණි. එවිට සෙන්පති, “රෝම පුරවැසිකම ලබා ගන්නට විශාල මුදලක් වැය කරන්නට මට සිදු වුණා” යි කීවේ ය. “මා උපතින් ම පුරවැසියෙක්” යැයි පාවුල් පිළිතුරු දුන්නේ ය.

