ක්‍රියා 22:12-21

ක්‍රියා 22:12-21 SCV

“එහිදී අනනියස් නම් කෙනෙක් මා දකින්නට ආවා. නියෝග බැතිමත් ව පිළිපදින්නකු වූ ඔහු, එහි වෙසෙන යුදෙව්වරුන්ගේ මහත් ගෞරවයට පාත්‍ර වූවෙක්. ඔහු මා පසෙකින් සිට, ‘සහෝදර සාවුල්, ඔබේ පෙනීම ලබන්නැ’ යි කීවා. ඒ මොහොතේ ම මට ඔහු දකින්නට හැකි වුණා. “එවිට ඔහු, ‘අපේ පියවරුන්ගේ දෙවියන්වහන්සේ, උන්වහන්සේගේ කැමැත්ත දැනගැනීමටත්, ධාර්මික තැනැත්තාණන් දැක ගැනීමටත්, උන්වහන්සේගේ මුවින් පවසන වචන ඇසීමටත් ඔබ තෝරා ගෙන තියෙනවා; ඔබ ඇසූ දුටු දේ ගැන සියලු මිනිසුන් ඉදිරියේ ඔබ උන්වහන්සේගේ සාක්ෂිකරුවකු වනු ඇති. තවත් පමා වන්නේ කුමට ද? නැගිටින්න; උන්වහන්සේගේ නාමයෙන් යාච්ඤා කරමින්, බව්තීස්ම ලබා, ඔබගේ පාප සෝදා හරින්නැ’ යි මට කීවා. “මා යෙරුසලමට ආපසු ඇවිත්, දේව මාලිගයේ යාච්ඤා කරමින් සිටියා. එසේ සිටියදී මා දැහැනකට වැටී, ස්වාමින්වහන්සේ මා අමතනු දුටුවා; උන්වහන්සේ, ‘ඉක්මන් කරන්න! හනික යෙරුසලමෙන් පිටවන්න; මන්ද මා ගැන ඔබ කී සාක්ෂිය ඔවුන් පිළිගන්නේ නැතැ’ යි කීවා. “මා ඊට පිළිතුරු දෙමින්, ‘ස්වාමින්වහන්ස, ඔබවහන්සේ අදහාගත්තවුන් සිරබාරයට ගනිමින්, ඔවුන්ට තළා පෙළමින්, සිනගෝගයෙන් සිනගෝගයට මා ගිය අයුරු මේ මිනිසුන් හොඳින් ම දන්නවා. ඔබ උදෙසා දිවි දුන් ස්තේපන්ගේ ලේ හලනු ලබද්දී, ඔහු මැරූවන්ගේ උතුරු සළු බලා ගනිමින්, මමත් එතැන ම සිට ඒ ක්‍රියාව අනුමත කළා’ යි මා කීවා. “එවිට ස්වාමින්වහන්සේ, ‘යන්න; මම අන්‍ය-ජාතීන් වෙත දුර බැහැරට ඔබ යවන්නෙමි’ යි කී සේකැ” යි පැවසී ය.