ඔවුන්ගෙන් සමුගත් පසු, නැව් නැගුණ අපි කෙළින් ම කෝස් වෙත යාත්‍රා කළෙමු. පසු දා රෝදස් ද එතැනින් පතාරා වෙත ද ළඟා වීමු. පිනීකිය වෙත යන නැවක් එහිදී හමු වූයෙන්, අපි එහි නැගී පිටත් වුණෙමු. සයිප්‍රසය පෙනෙනා මානයට පැමිණි පසු, එය වම් පසින් තිබෙන සේ යාත්‍රා කරමින්, අපි සිරියා වෙත ළඟා වී, තීර් වරායෙන් ගොඩ බැස්සෙමු. එහිදී නැවෙහි බඩු ගොඩ බෑමට නියමිත ව තිබිණි. එබැවින් අපි තීර්හි ගෝලයින් සොයා ගොස්, හත් දවසක් එහි ඔවුන් හා ගත කළෙමු. ශුද්ධාත්මයාණන් විසින් දන්වනු ලැබ, යෙරුසලමට නො යන ලෙස ඔවුහු පාවුල්ට ඇවිටිලි කළහ. එහෙත් අප යා යුතු කාලය පැමිණි විට අපි එතැනින් පිටත් ව, යළි ගමන් ඇරඹීමු. ගෝලයෝ සැවොම තම භාර්යාවන් හා දරුවන් කැටිව නගර සීමාවෙන් පිටතට එන තුරු අප හා ආහ. අපි වෙරළේ දණින් හිඳ, යාච්ඤා කර, අපි එකිනෙකාගෙන් සමුගෙන, නැවට නැගුණෙමු. ඔවුහු ද නිවෙස් බලා ගියහ.
තීර්හි සිට යළි මුහුදු ගමනේ යෙදුණු අපි, තොලමයිසට ගොඩ බැස, එහි සහෝදරයනට ආචාර කොට, ඔවුන් සමඟ දවසක් ගත කළෙමු. පසු දා අපි එතැනින් පිටත් ව, කායිසාරියට ළඟා වී, හත්දෙනාගෙන් කෙනකු වූ ධර්ම දූත පිලිප්ගේ නිවසේ නවාතැන් ගතිමු. දිවැස් වැකි පවසන අවිවාහක දූවරු හතර දෙනෙක් ඔහුට වුන්හ.
අප එහි කිහිප දවසක් ගත කළ පසු, දිවැසිවරයෙක් වූ අගබස් යුදයේ සිට එහි අවුත්, අප වෙත පැමිණ, පාවුල්ගේ ඉඟ පටිය ගෙන, ඉන් තම අත් හා පා බැඳ, “යෙරුසලමේ යුදෙව්වරුන් මේ ඉඟ පටිය හිමි තැනැත්තා මේ අයුරින් ම බැඳ, විජාතීන් අතට පාවා දෙනු ලබන බව ශුද්ධාත්මයාණන්වහන්සේ පවසන සේකැ” යි කීවේ ය.
ඒ ඇසූ අපත්, එහි සිටි සෙසු අයත් පාවුල්ට කන්නලව් කළේ යෙරුසලමට නො යන ලෙසට ය. පාවුල් පිළිතුරු දෙමින්, “හඬා දොඩා මගේ හද කඩන්නේ ඇයි? බඳිනු ලබන්නට පමණක් නො ව යේසුස් ස්වාමින්වහන්සේගේ නාමය උදෙසා යෙරුසලමේදී මැරෙන්නට වුවත් මම සූදානම්” යැයි කීවේ ය. කෙසේවත් ඔහු කැමති කරවා ගත නො හැකි වූයෙන්, අදහස අතැර දැමූ අපි, “ස්වාමින්වහන්සේ කැමති ලෙස සිදු වේවා!” යි කීවෙමු.
ඉන්පසු අපි ගමනට සූදානම් වී, යෙරුසලම බලා ගමන් ගතිමු. කායිසාරියේ ගෝලයින් කීප දෙනෙක් අප සමඟ අවුත්, අප නවාතැන් ගත යුතු ව තිබූ මිනාසොන්ගේ නිවස වෙත අප කැඳවාගෙන ගියහ. සයිප්‍රස් ජාතිකයකු වූ ඔහු මුල් ගෝලයන්ගෙන් කෙනෙකි.