ක්‍රියා 20:17-35
ක්‍රියා 20:17-35 SCV
ඔහු මිලේතස සිට එපීස සභා-මූලිකයින් කැඳවා පණිවුඩ යැවී ය. ඔවුන් ආ කල්හි ඔහු ඔවුන්ට මෙසේ පැවසී ය. “මා ආසියා කලාපයට පැමිණි පළමු දවසේ පටන් ඔබ සමඟ ඒ මුළු කාලය ම ගත කළේ කෙසේ ද කියා ඔබ දනී. යුදෙව්වරුන්ගේ කුමන්ත්රණවලින් දැඩි සේ මා පරීක්ෂා කළ ද, සියලු ආකාර යටහත්කමින් හා කඳුළින් යුතුවයි මා ස්වාමින්වහන්සේට සේවය කළේ. ඔබට ප්‍රයෝජනවත් විය හැකි කවර දෙයක් වුව ප්‍රකාශ කිරීමට මා පසුබට නො වූ බවත් ඔබ දන්නවා; ප්‍රසිද්ධියේ මෙන් ම ගෙන් ගෙට ගොස් මා ඔබට ඉගැන්නුවා. යුදෙව් හා ග්‍රීක යන දෙගොල්ලට ම පසුතැවිලි වී, දෙවියන්වහන්සේ වෙත හැරෙන ලෙස හා අපගේ ස්වාමි වූ යේසුස්වහන්සේ අදහා ගන්නා ලෙස මා තදින් අනුශාසනා කළා. “මෙන්න දැන්, ආත්මයාණන්වහන්සේගේ බලපෑමෙන් යුතු ව යෙරුසලමට මා යන්නේ, එහිදී මට කුමකින් කුමක් වේ දැයි නො දැනයි. මා එකක් දන්නවා; නගරයක් නගරයක් පාසා ශුද්ධාත්මයාණන් මට ප්‍රකාශ කරන්නේ, සිරගතවීම් හා හිරිහැරවලට මා මුහුණ ලා සිටින වගයි. කෙසේ වෙතත් මා දුවන මේ තරඟ දිවුම නිම කිරීමත්, යේසුස් ස්වාමින්වහන්සේ මට දුන් කාර්ය භාරය වන දෙවියන්වහන්සේගේ අනුග්රහයේ ශුභාරංචිය ගැන සාක්ෂි දැරීම සම්පූර්ණ කිරීමත් මිස, මගේ ජීවිතය මට වටනේයයි මම නො සිතමි. “රාජ්‍යය ප්‍රකාශ කරමින් මා ගියවුන් අතර සිටින ඔබ කිසිවකුට මින් මතු මගේ මුහුණ දකින්නට නො ලැබෙන බව දැන් මම දනිමි. එබැවින් අද දවසේ මා ඔබට ප්‍රකාශ කරන්නේ, සියල්ලන්ගේ ලේ ගැන මා නිදොස් වගයි. මන්ද දෙවියන්වහන්සේගේ මුළු කැමැත්ත ඔබට ප්‍රකාශ කිරීමට මා පසුබට වූයේ නැත. තමන් ගැනත් වග බලා ගනිමින්, ශුද්ධාත්මයාණන්වහන්සේ ඔබ නායකයින් බවට පත් කරමින්, බාර දී ඇති බැටළු රැළ රැක-බලාගන්න. ස්වකීය ලෙයින් උන්වහන්සේ මිලයට ගත් දෙවියන්වහන්සේගේ සභාවේ එඬේරවරුන් වන්න. මා ගිය පසු, රුදුරු වෘකයින් ඔබ අතරට පැමිණ, රැළ ඉතිරි නො කරන වග මම දනිමි. ඔබ කණ්ඩායමේ ඇතමුන් ද නැගිට ගෝලයින් ඔවුන්ගේ පැත්තට නම්මා ගන්නට සත්‍යය විකෘති කරනු ඇත. එබැවින් කල්පනාකාරී ව සිටින්න. වසර තුනක් තිස්සේ දිවා රෑ දෙක්හි කඳුළින් යුතු ව, මා ඔබ එකිනෙකාට නො නැවතී අවවාද කළ බව මතක තබා ගන්න. “දෙවියන්වහන්සේටත්, ඔබ ගොඩ නංවාලීමට හා පවිත්‍ර කරනු ලැබූ සියල්ලන් අතර උරුමයක් ඔබට දෙන්නට හැකි උන්වහන්සේගේ අනුග්රහයේ වචනයටත් දැන් මා ඔබ භාර කරනවා. කාගේවත් රිදී හෝ රන් හෝ ඇඳුම්වලට හෝ මා ගිජු වූයේ නැහැ; මගේ මේ අත් දෙක මගේ අවශ්‍යතා වගේ ම මගේ සගයින්ගේ අවශ්‍යතා ද සපිරූ වග ඔබ දන්නවා. මෙලෙස වෙහෙසී වැඩ කර, අබල-දුබල අයට අප උපකාර කළ යුතු බව මා කළ හැම දෙයක් තුළින් ම ඔබට පෙන්වා දුන්නේ යේසුස්වහන්සේගේ ම වචන සිහි ගන්වමින්; උන්වහන්සේ කීවේ, ‘ලැබීමට වඩා දීම ආශිර්වාදයකි’ කියායි.”

