ක්‍රියා 2:37-41

ක්‍රියා 2:37-41 SCV

ඔවුන් මෙය ඇසූ කල ඔවුන්ගේ සිතට එය කා-වැදී ගියෙන්, පේතෘස් හා අනෙක් අපෝස්තුලුවරුන් ඇමතූ ඔවුහු, “සහෝදරවරුනි, කුමක් ද අප කළ යුත්තේ?” යි ඇසූහ. පේතෘස් ඔවුන්ට පිළිතුරු දෙමින්, “පසුතැවිලි වන්න; පව් කමාව ලබන්නට ඔබ හැම කෙනෙක් ම යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් බව්තීස්ම ලබන්න. එවිට ශුද්ධාත්මයාණන් දීමනාව ඔබටත් ලැබේ. මන්ද මේ පොරොන්දුව ඔබටත්, ඔබගේ දරුවන්ටත්, ලොව ඈත කොතැනක සිටියත්, අපගේ දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේ තමන්වහන්සේ වෙත කැඳවන සියලු දෙනාටත් යැ” යි පැවසී ය. ඔහු තවත් බොහෝ වචනවලින් සාක්ෂි දරමින්, ඔවුන්ට අවවාද කරමින්, “මේ දූෂිත පරම්පරාවෙන් ගැලවෙන්නැ” යි ඉතා ඕනෑකමින් ඉල්ලා සිටියේ ය. පේතෘස්ගේ වචනය පිළිගත් අය බව්තීස්ම කරනු ලැබූහ. තුන්දහසක් පමණ දෙනෙක් එදින ඔවුන්ට එකතු කරන ලදහ.