ක්‍රියා 2:29-47

ක්‍රියා 2:29-47 SCV

“සහෝදරවරුනි, අපගේ ආදි කුල දෙටු දාවිත් මිය ගිය බවත්, භූමදාන කළ බවත් නිසැක ව ම කියන්නට මට පුළුවන. ඔහුගේ සොහොන අද දක්වාත් අප අතරේ තියේ. එහෙත් තමාගේ ඇවෑමෙන් තමාගෙන් ම පැවතෙන්නකු තම සිහසුනේ හිඳුවීමට දෙවියන්වහන්සේ තමාට දිවුරා ගිවිසි වග දැන සිටි දිවැසිවරයකු වූ ඔහු, මතු සිදුවන දේ දැක, ක්‍රිස්තුස්වහන්සේ මළවුන්ගෙන් නැගිටීම ගැන කතා කරමින්, උන්වහන්සේ හේදිසියේ අත්හැර දැමෙන්නේ නැති වගත්, උන්වහන්සේගේ මාංසය, දිරා ජරාවට පත් නො වන වගත් පැවසී ය. දෙවියන්වහන්සේ මේ යේසුස්වහන්සේ ජීවනයට නැගිට වූ සේක. අප සැවොම ඊට සාක්ෂි ය; දෙවියන්වහන්සේගේ දකුණු පසට උසස් කරනු ලැබ, උන්වහන්සේ, පියාණන්වහන්සේ වෙතින් පොරොන්දු වූ ශුද්ධාත්මයාණන් ලබා, දැන් ඔබ අසන, දකින ලෙස මෙසේ අප වෙත වැගුරූ සේක. මන්ද දාවිත් ස්වර්ගයට නැගුණේ නැත. එහෙත් ඔහු මෙසේ කියයි, “ ‘මා විසින් ඔබේ සතුරන් ඔබේ පයට පා පුටුවක් කර දෙන තෙක්, මා දකුණු පසින් අසුන් ගන්නැ’ යි ස්වාමින්වහන්සේ මා සමිඳාණන්ට පැවසූ සේකැ” යි පවසා ඇත. “එබැවින් නුඹලා විසින් කුරුසියේ ඇණ ගසනු ලැබූ මේ යේසුස්වහන්සේ, දෙවියන්වහන්සේ විසින් ස්වාමින්වහන්සේ ද ක්‍රිස්තුස්වහන්සේ ද කොට පත් කළ වග මුළු මහත් ඉශ්‍රායෙල් වංශය නිසැක ව දැනගනිත්වා!” යි පැවසී ය. ඔවුන් මෙය ඇසූ කල ඔවුන්ගේ සිතට එය කා-වැදී ගියෙන්, පේතෘස් හා අනෙක් අපෝස්තුලුවරුන් ඇමතූ ඔවුහු, “සහෝදරවරුනි, කුමක් ද අප කළ යුත්තේ?” යි ඇසූහ. පේතෘස් ඔවුන්ට පිළිතුරු දෙමින්, “පසුතැවිලි වන්න; පව් කමාව ලබන්නට ඔබ හැම කෙනෙක් ම යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් බව්තීස්ම ලබන්න. එවිට ශුද්ධාත්මයාණන් දීමනාව ඔබටත් ලැබේ. මන්ද මේ පොරොන්දුව ඔබටත්, ඔබගේ දරුවන්ටත්, ලොව ඈත කොතැනක සිටියත්, අපගේ දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේ තමන්වහන්සේ වෙත කැඳවන සියලු දෙනාටත් යැ” යි පැවසී ය. ඔහු තවත් බොහෝ වචනවලින් සාක්ෂි දරමින්, ඔවුන්ට අවවාද කරමින්, “මේ දූෂිත පරම්පරාවෙන් ගැලවෙන්නැ” යි ඉතා ඕනෑකමින් ඉල්ලා සිටියේ ය. පේතෘස්ගේ වචනය පිළිගත් අය බව්තීස්ම කරනු ලැබූහ. තුන්දහසක් පමණ දෙනෙක් එදින ඔවුන්ට එකතු කරන ලදහ. ඔවුහු අපෝස්තුලුවරුන්ගේ ඉගැන්වීමට හා සහභාගිත්වයට ද රොටි කැඩීමට හා යාච්ඤාවට ද තුමූම කැප වූහ. හැම කෙනෙක් ම ගෞරවාන්විත භීතියකින් පිරී ගියහ. අපෝස්තුලුවරුන් අතින් බොහෝ පුදුම ද අනුහස් ලකුණු ද සිදු විය. සියලු ඇදහිලිවත්හු එක්සත් ව, සියලු දේ සාමුහික ව භුක්ති වින්දහ. ඔවුහු තමන් සතු දේපළ හා භාණ්ඩ විකුණා, අවශ්‍යතා ඇතියවුන් සමඟ බෙදා හදා ගත්හ. ඔවුහු දිනපතා එක්සිත් ව දේව මාලිගයේ එක් රැස් වෙමින් ද තම නිවෙස්හි දී රොටි කඩමින් ද ප්‍රීතියෙන් හා අවංක සිතින් එක් ව අහර ගත්තේ, දෙවියන්වහන්සේට ප්‍රශංසා කරමින් හා හැමදෙනාගේ හොඳ හිත දිනා ගනිමිනි. ස්වාමින්වහන්සේ ද ගැලවීම ලබන්නන් දිනපතා ම ඔවුන්ගේ කණ්ඩායමට එක් කළ සේක.