ක්‍රියා 2:1-41

ක්‍රියා 2:1-41 SCV

පෙන්තකොස්ත දවස පැමිණි කල ඔවුහු සියල්ලෝ එක් තැනක එක් ව සිටියහ. හදිසියේ ම සැඩ සුළඟක් හමන්නාක් වැනි හඬක් ස්වර්ගයෙන් ඇසී, ඔවුන් හිඳ සිටි නිවස මුළුමනින් එයින් පිරී ගියේ ය. ගිනි දළු වැනි දිව් ඔවුන් මධ්‍යයේ පෙනී, ඒ එකිනෙකා මත පිහිටා සිටියේ ය. ඔවුහු සැවොම ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණ කරනු ලදුව, ආත්මයාණන් පවසන්නට වර දුන් අයුරින් අන්‍ය භාෂාවලින් කතා කරන්නට වන්හ. අහසින් යට ලොව හැම ජාතියකින් ම වූ භක්තිවන්ත යුදෙව්වරු මෙකල්හි යෙරුසලමේ විසූහ. ඒ හඬ ඔවුන්ට ඇසුණු කල, ඒ කිමෙක්දැයි බැලීමට එක් රොක් වූ සමූහයා ඉන් අන්දමන්ද වූයේ, තම තමන්ගේ භාෂාවෙන් ඔවුන් කතා කරනු ඇසුණු නිසා ය. විස්මයෙන් වික්ෂිප්ත වූ ඔවුහු, කතා කරමින්, “මෙලෙස කතා කරන මේ සියල්ලෝ ගලීලයින් නො වෙත් ද? එසේ නම් අපේ ම භාෂාවලින් මොවුන් කතා කරනු අප එකිනෙකාට ඇහෙන්නේ කොහොම ද? පාර්තිවරුන්, මේදීයවරුන් හා එලාමිවරුන් ද මෙසපොතාමියා, යුදය, කප්පදෝකිය, පොන්තස්, ආසියා, පිරිගිය, පම්පිලිය, ඊජිප්තුව සහ සිරේනියට අයත් ලිබියේ පළාත් යන දේශ දේශයන්හි වැසියන් ද රෝමයෙන් පැමිණි අමුත්තන් ද යුදෙව්වරුන් හා යූදා දහම වැලඳගත් වෙනත් ජාතීන් ද ක්‍රීත්වරුන් හා අරාබිවරුන් ද වන අපට දෙවියන්වහන්සේගේ බලවත් ක්‍රියා ගැන අපේ ම භාෂාවන්ගෙන් ඔවුන් කතා කරන හඬ ඇසේ යැ” යි කීවෝ ය. විස්මයෙන් ද වියවුලෙන් ද ඇලළුණු ඔවුහු, “මොකක් ද මෙහි තේරුම?” යි ඔවුනොවුන්ගෙන් අසා ගන්නට වන්හ. එහෙත් සෙසු අය, ඔවුන් හාස්‍යයට ලක් කරමින්, “මොවුන් අලුත් මිදි යුෂවලින් මත් වෙලා” යි කීහ. එහෙත් පේතෘස් එකොළොස් දෙනා සමඟ නැගිට සිටගෙන, උස් හඬ නගා ඔවුන් අමතමින්, “යුදෙව් මිනිසුනි, යෙරුසලමේ වාසය කරන සියල්ලෙනි, ඔබ මෙය දැනගන්නවා හොඳයි; මගේ වචනවලට සවන් දෙන්න. ඔබ සිතන පරිදි මේ මිනිසුන් බීමත් ව නො වේ. මන්ද තවමත් උදෑසන නවයයි. මේ නම් යෝවෙල් දිවැසිවරයා මගින් පැවසුණු දෑයි: “ ‘දෙවියන්වහන්සේ ප්‍රකාශ කරන සේක්, අන්තිම දවස්වලදී මම මගේ ආත්මයාණන් මාංසමය සියල්ලන් පිට වගුරුවමි. ඔබේ පුතුන් ද දූවරුන් ද දිවැසි වැකි පවසනු ඇත. ඔබේ තරුණයින් දර්ශන දකිනු ඇත. ඔබේ වැඩිමහල් මිනිසුන් ස්වප්න දකිනු ඇත. මගේ සේවක සේවිකාවන් පිට පවා එදවස්හි දී මම මගේ ආත්මයාණන් වගුරුවමි. ඔවුන් දිවැස් වැකි පවසනු ඇත; මම ඉහළ අහසේ අරුමයන් ද පහත පොළොවේ ලේ ද ගිනි ද ධූම තරංග ද යන ලකුණු ද දක්වමි. ස්වාමින්වහන්සේගේ ඒ මහා තේජෝබල දවස පැමිණෙන්නට පළමු හිරු අන්ධකාරයට හැරෙන්නේ ය; සඳු ලෙයට හැරෙන්නේ ය. තවද ස්වාමින්වහන්සේගේ නාමයෙන් අයදින හැම කෙනෙක් ම ගලවනු ලබන්නේ ය.’ “ඉශ්‍රායෙල් මිනිසුනි, මේ වචන අහගන්න. ඔබ දන්නා පරිදි ඔබට දෙවියන්වහන්සේ සහතික කළ මනුෂ්‍යයකු වූ නාසරෙත්හි යේසුස්වහන්සේ ලවා ඔබ අතරේ බලවත් ක්‍රියා, හාස්කම් ලකුණු දෙවියන්වහන්සේ කර වූ සේක. දෙවියන්වහන්සේගේ නියත සැලැස්මක් හා උන්වහන්සේගේ පෙර දැනගැන්මට අනුව බාර දෙනු ලැබූ මෙම යේසුස්වහන්සේ, නුඹලා නීතියක් නැති මිනිසුන්ගේ අත්වලින් කුරුසියේ ඇණ ගසා, මරා දැමූහ. එනමුත් දෙවියන්වහන්සේ උන්වහන්සේ නැගිටුවා, මරණ වේදනාවෙන් උන්වහන්සේ මුදවාලූ සේක. මන්ද උන්වහන්සේ යටත් කර තබා ගැනීමට කොහෙත් ම මරණයට හැකි වුණේ නැත. දාවිත් උන්වහන්සේ ගැන මෙසේ කියා තිබේ: “ ‘මා අබියස නිරතුරු ව ම මම, ස්වාමින්වහන්සේ දුටිමි. මන්ද, මා සොලවනු නො ලබන ලෙසට උන්වහන්සේ මා දකුණු පසෙහි ය. එබැවින් මගේ හද සොම්නස් වෙයි; මගේ දිව ප්‍රීති ප්‍රමෝද වෙයි; මගේ මාංසය ද බලාපොරොත්තුවෙන් වෙසෙනු ඇත. මන්ද ඔබ මගේ ජීවාත්මය, පාතාලයේ අත්හැර දමන්නේ නැත; ඔබගේ ශුද්ධවතාණන්ට දිරා ජරාවට යෑම අත්දකින්නට ඔබ ඉඩ දෙන්නේ නැත. ජීවනයේ මාවත් ඔබ මට දැන් වූ සේක, ඔබ අභිමුඛයේ සොම්නසින් ඔබ මා පුරවන සේක.’ “සහෝදරවරුනි, අපගේ ආදි කුල දෙටු දාවිත් මිය ගිය බවත්, භූමදාන කළ බවත් නිසැක ව ම කියන්නට මට පුළුවන. ඔහුගේ සොහොන අද දක්වාත් අප අතරේ තියේ. එහෙත් තමාගේ ඇවෑමෙන් තමාගෙන් ම පැවතෙන්නකු තම සිහසුනේ හිඳුවීමට දෙවියන්වහන්සේ තමාට දිවුරා ගිවිසි වග දැන සිටි දිවැසිවරයකු වූ ඔහු, මතු සිදුවන දේ දැක, ක්‍රිස්තුස්වහන්සේ මළවුන්ගෙන් නැගිටීම ගැන කතා කරමින්, උන්වහන්සේ හේදිසියේ අත්හැර දැමෙන්නේ නැති වගත්, උන්වහන්සේගේ මාංසය, දිරා ජරාවට පත් නො වන වගත් පැවසී ය. දෙවියන්වහන්සේ මේ යේසුස්වහන්සේ ජීවනයට නැගිට වූ සේක. අප සැවොම ඊට සාක්ෂි ය; දෙවියන්වහන්සේගේ දකුණු පසට උසස් කරනු ලැබ, උන්වහන්සේ, පියාණන්වහන්සේ වෙතින් පොරොන්දු වූ ශුද්ධාත්මයාණන් ලබා, දැන් ඔබ අසන, දකින ලෙස මෙසේ අප වෙත වැගුරූ සේක. මන්ද දාවිත් ස්වර්ගයට නැගුණේ නැත. එහෙත් ඔහු මෙසේ කියයි, “ ‘මා විසින් ඔබේ සතුරන් ඔබේ පයට පා පුටුවක් කර දෙන තෙක්, මා දකුණු පසින් අසුන් ගන්නැ’ යි ස්වාමින්වහන්සේ මා සමිඳාණන්ට පැවසූ සේකැ” යි පවසා ඇත. “එබැවින් නුඹලා විසින් කුරුසියේ ඇණ ගසනු ලැබූ මේ යේසුස්වහන්සේ, දෙවියන්වහන්සේ විසින් ස්වාමින්වහන්සේ ද ක්‍රිස්තුස්වහන්සේ ද කොට පත් කළ වග මුළු මහත් ඉශ්‍රායෙල් වංශය නිසැක ව දැනගනිත්වා!” යි පැවසී ය. ඔවුන් මෙය ඇසූ කල ඔවුන්ගේ සිතට එය කා-වැදී ගියෙන්, පේතෘස් හා අනෙක් අපෝස්තුලුවරුන් ඇමතූ ඔවුහු, “සහෝදරවරුනි, කුමක් ද අප කළ යුත්තේ?” යි ඇසූහ. පේතෘස් ඔවුන්ට පිළිතුරු දෙමින්, “පසුතැවිලි වන්න; පව් කමාව ලබන්නට ඔබ හැම කෙනෙක් ම යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් බව්තීස්ම ලබන්න. එවිට ශුද්ධාත්මයාණන් දීමනාව ඔබටත් ලැබේ. මන්ද මේ පොරොන්දුව ඔබටත්, ඔබගේ දරුවන්ටත්, ලොව ඈත කොතැනක සිටියත්, අපගේ දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේ තමන්වහන්සේ වෙත කැඳවන සියලු දෙනාටත් යැ” යි පැවසී ය. ඔහු තවත් බොහෝ වචනවලින් සාක්ෂි දරමින්, ඔවුන්ට අවවාද කරමින්, “මේ දූෂිත පරම්පරාවෙන් ගැලවෙන්නැ” යි ඉතා ඕනෑකමින් ඉල්ලා සිටියේ ය. පේතෘස්ගේ වචනය පිළිගත් අය බව්තීස්ම කරනු ලැබූහ. තුන්දහසක් පමණ දෙනෙක් එදින ඔවුන්ට එකතු කරන ලදහ.