පෙන්තකොස්ත දවස පැමිණි කල ඔවුහු සියල්ලෝ එක් තැනක එක් ව සිටියහ. හදිසියේ ම සැඩ සුළඟක් හමන්නාක් වැනි හඬක් ස්වර්ගයෙන් ඇසී, ඔවුන් හිඳ සිටි නිවස මුළුමනින් එයින් පිරී ගියේ ය. ගිනි දළු වැනි දිව් ඔවුන් මධ්‍යයේ පෙනී, ඒ එකිනෙකා මත පිහිටා සිටියේ ය. ඔවුහු සැවොම ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණ කරනු ලදුව, ආත්මයාණන් පවසන්නට වර දුන් අයුරින් අන්‍ය භාෂාවලින් කතා කරන්නට වන්හ.
අහසින් යට ලොව හැම ජාතියකින් ම වූ භක්තිවන්ත යුදෙව්වරු මෙකල්හි යෙරුසලමේ විසූහ. ඒ හඬ ඔවුන්ට ඇසුණු කල, ඒ කිමෙක්දැයි බැලීමට එක් රොක් වූ සමූහයා ඉන් අන්දමන්ද වූයේ, තම තමන්ගේ භාෂාවෙන් ඔවුන් කතා කරනු ඇසුණු නිසා ය. විස්මයෙන් වික්ෂිප්ත වූ ඔවුහු, කතා කරමින්, “මෙලෙස කතා කරන මේ සියල්ලෝ ගලීලයින් නො වෙත් ද? එසේ නම් අපේ ම භාෂාවලින් මොවුන් කතා කරනු අප එකිනෙකාට ඇහෙන්නේ කොහොම ද? පාර්තිවරුන්, මේදීයවරුන් හා එලාමිවරුන් ද මෙසපොතාමියා, යුදය, කප්පදෝකිය, පොන්තස්, ආසියා, පිරිගිය, පම්පිලිය, ඊජිප්තුව සහ සිරේනියට අයත් ලිබියේ පළාත් යන දේශ දේශයන්හි වැසියන් ද රෝමයෙන් පැමිණි අමුත්තන් ද යුදෙව්වරුන් හා යූදා දහම වැලඳගත් වෙනත් ජාතීන් ද ක්‍රීත්වරුන් හා අරාබිවරුන් ද වන අපට දෙවියන්වහන්සේගේ බලවත් ක්‍රියා ගැන අපේ ම භාෂාවන්ගෙන් ඔවුන් කතා කරන හඬ ඇසේ යැ” යි කීවෝ ය. විස්මයෙන් ද වියවුලෙන් ද ඇලළුණු ඔවුහු, “මොකක් ද මෙහි තේරුම?” යි ඔවුනොවුන්ගෙන් අසා ගන්නට වන්හ.
එහෙත් සෙසු අය, ඔවුන් හාස්‍යයට ලක් කරමින්, “මොවුන් අලුත් මිදි යුෂවලින් මත් වෙලා” යි කීහ.
එහෙත් පේතෘස් එකොළොස් දෙනා සමඟ නැගිට සිටගෙන, උස් හඬ නගා ඔවුන් අමතමින්, “යුදෙව් මිනිසුනි, යෙරුසලමේ වාසය කරන සියල්ලෙනි, ඔබ මෙය දැනගන්නවා හොඳයි; මගේ වචනවලට සවන් දෙන්න. ඔබ සිතන පරිදි මේ මිනිසුන් බීමත් ව නො වේ. මන්ද තවමත් උදෑසන නවයයි. මේ නම් යෝවෙල් දිවැසිවරයා මගින් පැවසුණු දෑයි:
“ ‘දෙවියන්වහන්සේ ප්‍රකාශ කරන සේක්,
අන්තිම දවස්වලදී මම මගේ ආත්මයාණන් මාංසමය සියල්ලන් පිට වගුරුවමි.
ඔබේ පුතුන් ද දූවරුන් ද දිවැසි වැකි පවසනු ඇත.
ඔබේ තරුණයින් දර්ශන දකිනු ඇත.
ඔබේ වැඩිමහල් මිනිසුන් ස්වප්න දකිනු ඇත.
මගේ සේවක සේවිකාවන් පිට පවා
එදවස්හි දී මම මගේ ආත්මයාණන් වගුරුවමි.
ඔවුන් දිවැස් වැකි පවසනු ඇත;
මම ඉහළ අහසේ අරුමයන් ද
පහත පොළොවේ
ලේ ද ගිනි ද ධූම තරංග ද යන ලකුණු ද දක්වමි.
ස්වාමින්වහන්සේගේ ඒ මහා තේජෝබල දවස පැමිණෙන්නට පළමු
හිරු අන්ධකාරයට හැරෙන්නේ ය;
සඳු ලෙයට හැරෙන්නේ ය.
තවද ස්වාමින්වහන්සේගේ නාමයෙන් අයදින
හැම කෙනෙක් ම ගලවනු ලබන්නේ ය.’
“ඉශ්‍රායෙල් මිනිසුනි, මේ වචන අහගන්න. ඔබ දන්නා පරිදි ඔබට දෙවියන්වහන්සේ සහතික කළ මනුෂ්‍යයකු වූ නාසරෙත්හි යේසුස්වහන්සේ ලවා ඔබ අතරේ බලවත් ක්‍රියා, හාස්කම් ලකුණු දෙවියන්වහන්සේ කර වූ සේක. දෙවියන්වහන්සේගේ නියත සැලැස්මක් හා උන්වහන්සේගේ පෙර දැනගැන්මට අනුව බාර දෙනු ලැබූ මෙම යේසුස්වහන්සේ, නුඹලා නීතියක් නැති මිනිසුන්ගේ අත්වලින් කුරුසියේ ඇණ ගසා, මරා දැමූහ. එනමුත් දෙවියන්වහන්සේ උන්වහන්සේ නැගිටුවා, මරණ වේදනාවෙන් උන්වහන්සේ මුදවාලූ සේක. මන්ද උන්වහන්සේ යටත් කර තබා ගැනීමට කොහෙත් ම මරණයට හැකි වුණේ නැත.