ක්‍රියා 19:1-10

ක්‍රියා 19:1-10 SCV

අපොල්ලොස් කොරින්තියෙහි සිටියදී, පාවුල් රට මැද්දෙන් ගමන් කර, එපීසය වෙත ළඟා විය. එහිදී ඔහුට ගෝලයින් ඇතමකු හමු වී, ඔවුන් අමතමින්, “ඔබ, යේසුස්වහන්සේ අදහාගත් කල ශුද්ධාත්මයාණන් ලැබුවේ දැ?” යි ඇසී ය. ඔවුහු පිළිතුරු දෙමින්, “නැහැ; ශුද්ධාත්මයාණන් කියා කෙනකු සිටින වග අප අහලාවත් නැතැ” යි කීහ. “එසේ නම් ඔබ ලැබුවේ කවර බව්තීස්මයක් දැ?” යි පාවුල් ඇසී ය. “යොහන්ගේ බව්තීස්මය” යැයි ඔවුහු පිළිතුරු දුන්හ. එවිට පාවුල්, “යොහන්ගේ බව්තීස්මය පසුතැවිල්ලේ බව්තීස්මයකි. ඔහු ජනතාවට කීවේ තමාට පසුව එන තැනැත්තාණන් අදහා ගන්නා ලෙසයි. ඒ යේසුස්වහන්සේ යැ” යි පැවසී ය. ඒ ඇසූ ඔවුහු යේසුස්වහන්සේගේ නාමයෙන් බව්තීස්ම කරන ලදහ. ඉන්පසු පාවුල් ඔවුන් පිට අත් තැබූ කල්හි, ශුද්ධාත්මයාණෝ ඔවුන් කරා පහළ වූ සේක. එවිට ඔවුහු අන්‍ය භාෂාවලින් කතා කරන්නටත්, දිවැස් වැකි පවසන්නටත් වන්හ. ඔවුන් සියල්ලෝ මිනිසුන් දොළොස් දෙනෙක් පමණ වූහ. පාවුල් සිනගෝගයට ගොස්, දෙවියන්වහන්සේගේ රාජ්‍යය ගැන නිර්භීත ව වාද කරමින් හා සිත් පොලඹවන අයුරින් තුන් මසක් කතා කළේ ය. එහෙත් ඔවුන්ගෙන් ඇතමෙක් අදහා ගැනීම ප්‍රතික්ෂේප කරමින්, මුරණ්ඩු ව ඒ ධර්ම-මාර්ගයට අවමන් කළහ. එවිට පාවුල් ඔවුන්ගෙන් වෙන් ව, ගෝලයින් කැටිව, තුරානස්ගේ දේශන ශාලාවෙහි දිනපතා තර්ක කරමින් සිටියේ ය. දෙවසරක කාලයක් එලෙසින් සිදු විය. මෙසේ ආසියා කලාපයේ විසූ යුදෙව් හා ග්‍රීක ජාතිකයින් හැම දෙනා ස්වාමින්වහන්සේගේ වචනය ඇසූහ.

ක්‍රියා 19:1-10 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය