ක්‍රියා 18:18-28

ක්‍රියා 18:18-28 SCV

පාවුල් මද කලක් කොරින්තියෙහි ගත කර, සහෝදරයින්ගෙන් සමුගෙන, ප්‍රිස්කිලා හා අකිලා ද සමඟ සිරියා බලා නැව් නැංගේ ය. ඔහු තමා වූ බාරයක් ඔප්පු කරමින්, කෙන්ක්‍රයාහි දී තම හිස මුඩු කරවා ගත්තේ ය. ඔවුහු එපීසය වෙත පැමිණියහ. එහිදී ප්‍රිස්කිලා හා අකිලාගෙන් වෙන් වූ පාවුල් සිනගෝගයට ගොස්, යුදෙව්වරුන් හා තර්ක කළේ ය. තමන් සමඟ කලක් නැවතී සිටින්නැයි ඔවුන් ඉල්ලූ නමුදු, පාවුල් එය ප්‍රතික්ෂේප කළේ ය. එහෙත් ඔහු ඔවුන්ගෙන් සමු ගනිද්දී, “දෙවියන්වහන්සේ කැමති සේක් නම්, මා නැවත මෙහි එනවා” යි ඔවුන්ට පැවසී ය. මෙසේ ඔහු එපීසය වෙතින් නැව් නැග, කායිසාරියට ගොඩ බැස්සේ ය. ඔහු ගොස් සභාව හමු වී, ඔවුනට ආචාර කොට, අන්තියෝකියට ගියේ ය. කලක් එහි ගත කළ ඔහු පිටත් ව, ගලාතිය හා පිරිගිය පෙදෙස් ඔස්සේ තැනකින් තැනකට ගමන් කළේ සියලු ගෝලයින් ධෛර්යවත් කරමිනි. මේ අතර ඇලෙක්සන්ද්‍රීය වාසී අපොල්ලොස් නම් යුදෙව්වරයෙක් එපීසය වෙත ආවේ ය. ඔහු උගතෙකි; ශුද්ධ ලියවිලි පිළිබඳ විශාරදයෙකි. ස්වාමින්වහන්සේගේ මාර්ගය පිළිබඳව යමකු ඔහුට කරුණු කියා දී තිබිණි. ඔහු උද්යෝගිමත් ආත්මයෙන් යුතු ව යේසුස්වහන්සේ ගැන නිවැරදි ව ඉගැන්වී ය. එහෙත් ඔහු දැන සිටියේ යොහන්ගේ බව්තීස්මය පමණකි. ඔහු සිනගෝගයේදී නිර්භය ව කතා කරන්නට වන් කල, ඒ ඇසූ ප්‍රිස්කිලා හා අකිලා තම නිවසට ඔහු කැඳවා, දෙවියන්වහන්සේගේ මාර්ගය වඩා නිවැරදි ව ඔහුට පහදා දුන්හ. අකාය වෙත යෑමට අපොල්ලොස්ට ඕනෑ වූ කල සහෝදරයෝ ඔහු දිරිමත් කොට, සාදරයෙන් ඔහු පිළිගන්නා ලෙස එහි ගෝලයින්ට ලියා යැවූහ. දෙවියන්වහන්සේගේ අනුග්‍රහයෙන් අදහා සිටියවුනට අපොල්ලොස්ගේ පැමිණීම මහත් පිළිසරණක් විය. ක්‍රිස්තුස්වහන්සේ, යේසුස්වහන්සේ ම බව ශුද්ධ ලියවිල්ල මගින් සනාථ කරමින්, ප්‍රසිද්ධ විවාදවලදී ඔහු ප්‍රබල ව යුදෙව්වරුන් පැරදවී ය.