ක්‍රියා 18:1-11
ක්‍රියා 18:1-11 SCV
මින් අනතුරුව පාවුල් ඇතන්ස් අත්හැර කොරින්තිය බලා ගියේ ය. අකිලා නම් යුදෙව්වරයෙක් එහිදී ඔහුට මුණ ගැසිණි. පොන්තස් වැසියකු වූ හෙතෙම කලක් ඉතාලියේ විසූවෙකි. සියලු යුදෙව්වරුන් රෝමයෙන් පිට මං විය යුතු බවට ක්ලෝදියස් නියෝග කර තිබූ බැවින්, ඔහු තම භාර්යාව වූ ප්‍රිස්කිලා සමඟ මෑතකදී කොරින්තිය වෙත පැමිණ සිටියේ ය. පාවුල් ඔවුන් මුණගැසෙන්නට ගියේ ය. ඔහු ද ඔවුන් ද එක ම කර්මාන්තය කළ තැනැත්තන් බැවින් ඔහු ඔවුන් සමඟ නැවතී, වැඩ කළේ ය. ඔවුන්ගේ වෘත්තිය කූඩාරම් සෑදීම ය. ඔහු හැම සබතක සිනගෝගයේ යුදෙව්වරුන් මෙන් ම ග්‍රීකයන් සමඟ ද තර්ක කරමින් ඔවුන්ට ඒත්තු ගැන්වීමට වෙර දැරී ය. සීලස් හා තිමෝති මකිදෝනියේ සිට පැමිණි පසු, යේසුස්වහන්සේ, ක්‍රිස්තුස්වහන්සේ ම යැයි යුදෙව්වරුන්ට සාක්ෂි දරමින් වචනය දේශනා කිරීමට පාවුල් මුළුමනින් ම කැප වූයේ ය. එහෙත් යුදෙව්වරුන් විරෝධය පාමින්, අපහාස කරන්නට වූ කල, පාවුල් තම ඇඳුම් ගසා දමමින්, “නුඹලාගේ ලේ නුඹලාගේ ම හිස් පිට වේවා! මගේ වගකීමෙන් මා නිදොස්; මෙතැන් පටන් මා අන්‍ය-ජාතීන් වෙත යනවා” යි කීවේ ය. ඉන්පසු එහි යෑම අත් හළ පාවුල් සිනගෝගයට යාබද නිවස, දෙවියන්වහන්සේට නමස්කාර කරන්නකු වූ තිතියුස් යුස්තස්ගේ නිවස වෙත ගියේ ය. සිනගෝග පාලක ක්‍රිස්පස් ද ඔහුගේ ගෘහවාසී සියල්ලෝ ද ස්වාමින්වහන්සේ අදහා ගත්හ. පාවුල්ගේ දේශනා ඇසූ කොරින්තිවරු බොහෝ දෙනෙක් ද අදහා බව්තීස්ම ලදහ. ස්වාමින්වහන්සේ රාත්‍රියේදී දර්ශනයකින් පාවුල්ට කතා කොට, “බය වන්න එපා; දිගට ම කතා කරන්න; නිහඬ ව නො සිටින්න. මා ඔබ සමඟයි; කිසිවකු ඔබට පහර දී අනතුරු කරන්නේ නැත. මන්ද මේ නගරයේ බොහෝ ජනකායක් මට සිටිනවා” යි පැවසූ සේක. එබැවින් පාවුල් ඔවුන්ට වචනය උගන්වමින්, එක් අවුරුදු හය මසක් එහි නැවතී සිටියේ ය.

