ක්‍රියා 17:24-34
ක්‍රියා 17:24-34 SCV
“ලෝකයත් එහි ඇති සියල්ලත් සෑදූ දෙවියන්වහන්සේ ස්වර්ගයේත්, පොළොවේත් ස්වාමින්වහන්සේ බැවින්, උන්වහන්සේ මිනිස් අතින් සාදන මාලිගාවල නො වසන සේක. හැම සතහට ජීවනය ද හුස්ම ද අන් සියලු දේ ද සපයා දෙන උන්වහන්සේ යම් හිඟකමක් ඇති කෙනකු සේ මිනිස් අත්වලින් ඇප උපස්ථාන නො ලබන සේක. මුළු පොළෝ තලය මත වාසය කරන පිණිස, උන්වහන්සේ එක් මිනිසකුගෙන් ලොව හැම මිනිස් ජාතියක් ම මැවූ සේක්, ඔවුන් සිටිය යුතු කාල වකවානු ද විසිය යුතු ස්ථාන සීමාවන් ද නියම කළ සේක. එසේ කළේ, මිනිසුන් දෙවියන්වහන්සේ සොයා, අතපත ගාමින් හෝ උන්වහන්සේ හමුවන පිණිස ය. එසේ වුව ද උන්වහන්සේ සිටින්නේ, අප හැම කෙනකුට ම ඈතින් නො වේ. මන්ද, ‘අප ජීවත් වන්නේත්, හැසිරෙන්නේත්, අපේ පැවැත්ම ඇත්තේත් උන්වහන්සේ තුළ යැ’ යි ඔබේ ම කවීන් කියා ඇති පරිදි, ‘උන්වහන්සේගේ දරුවෝ අප ය.’ “එබැවින් අප, දෙවියන්වහන්සේගේ දරුවන් නම්, මිනිස් සැලැස්මෙන් හා නිපුණත්වයෙන් නෙළන ලද රන්, රිදී හෝ ගල් රූපයකට දේව ස්වභාව සමාන යයි නො සිතිය යුතුයි. නො දැනුවත්කමේ කාලවලදී දෙවියන්වහන්සේ ඒ ගැන නො සැලකූ නමුත් දැන් හැම තැන, හැම ජන කොටසකට ම පසුතැවිලි වන්නට අණ කරන සේක. මන්ද තමන් විසින් තෝරා ගන්නා ලද මනුෂ්‍යයා ලවා උන්වහන්සේ ලෝකයා ධර්මිෂ්ඨ ව විනිශ්චය කරන දවසක් දෙවියන්වහන්සේ ම නියම කොට තිබේ. එම මනුෂ්‍යයා මළවුන්ගෙන් නැගිටුවීම තුළින් උන්වහන්සේ සකල ජනයාට ම මේ සම්බන්ධ ව සහතිකයක් දී තිබේ.” මළවුන්ගෙන් නැගිටීම ගැන ඇසූ ඔවුන්ගෙන් ඇතමෙක් සමච්චල් කරන්නට වන්හ. එහෙත් සෙසු අය, “මේ සම්බන්ධ ව නැවතත් ඔබ කතා කරනවා අසන්නට අප කැමතියි” කීහ. මේ අවස්ථාවේ පාවුල් රැස්වීමෙන් ඉවත් ව ගියේ ය. ස්වල්ප දෙනෙක් ඔහුට එකතු වී අදහා ගත්හ. අරියෝපග සාමාජික දියෝනිසියස් ද දමරිස් නම් වූ ස්ත්‍රියක් ද තවත් ගණනාවක් ද ඒ අතර වූහ.

