ක්‍රියා 17:22-29

ක්‍රියා 17:22-29 SCV

එවිට පාවුල් අරියෝපග රැස්වීම් සභාව ඉදිරියේ නැගිට, මෙසේ පැවසී ය: “ඇතන්ස්හි මිනිසුනි! ඔබ හැම අතින් ම ආගම දහමට ලැදි අය බව මට පෙනේ. ඔබේ නමස්කාරයට පාත්‍ර වූ වස්තූන් ඕනෑකමින් බලමින් මා ඒ මේ අත යද්දී, නාම පුවරුවක් ඇති පූජාසනයක් දැක්කා: නාඳුනන දෙවියකුට ය. දැන් මා ඔබට ප්‍රකාශ කරන්නට යන්නේ එසේ නෑඳින ඔබ නමස්කාර කරන දේ ගැනයි. “ලෝකයත් එහි ඇති සියල්ලත් සෑදූ දෙවියන්වහන්සේ ස්වර්ගයේත්, පොළොවේත් ස්වාමින්වහන්සේ බැවින්, උන්වහන්සේ මිනිස් අතින් සාදන මාලිගාවල නො වසන සේක. හැම සතහට ජීවනය ද හුස්ම ද අන් සියලු දේ ද සපයා දෙන උන්වහන්සේ යම් හිඟකමක් ඇති කෙනකු සේ මිනිස් අත්වලින් ඇප උපස්ථාන නො ලබන සේක. මුළු පොළෝ තලය මත වාසය කරන පිණිස, උන්වහන්සේ එක් මිනිසකුගෙන් ලොව හැම මිනිස් ජාතියක් ම මැවූ සේක්, ඔවුන් සිටිය යුතු කාල වකවානු ද විසිය යුතු ස්ථාන සීමාවන් ද නියම කළ සේක. එසේ කළේ, මිනිසුන් දෙවියන්වහන්සේ සොයා, අතපත ගාමින් හෝ උන්වහන්සේ හමුවන පිණිස ය. එසේ වුව ද උන්වහන්සේ සිටින්නේ, අප හැම කෙනකුට ම ඈතින් නො වේ. මන්ද, ‘අප ජීවත් වන්නේත්, හැසිරෙන්නේත්, අපේ පැවැත්ම ඇත්තේත් උන්වහන්සේ තුළ යැ’ යි ඔබේ ම කවීන් කියා ඇති පරිදි, ‘උන්වහන්සේගේ දරුවෝ අප ය.’ “එබැවින් අප, දෙවියන්වහන්සේගේ දරුවන් නම්, මිනිස් සැලැස්මෙන් හා නිපුණත්වයෙන් නෙළන ලද රන්, රිදී හෝ ගල් රූපයකට දේව ස්වභාව සමාන යයි නො සිතිය යුතුයි.