ක්‍රියා 17:16-21

ක්‍රියා 17:16-21 SCV

ඔවුන්ගේ පැමිණීම බලාපොරොත්තුවෙන් පාවුල් ඇතන්ස්හි නතර ව සිටියදී, නගරය පුරා දේව පිළිම දක්නට ලැබීමෙන් ඔහුගේ ආත්මය මහත් සේ සසල විය. එබැවින් ඔහු සිනගෝගයේදී යුදෙව්වරුන් හා දේව භක්තික ග්‍රීකයින් සමඟ ද වෙළඳ පොළට දිනපතා ගොස්, එහිදී ඔහුට හමුවූවන් සමඟ ද තර්ක කළේ ය. එහිදී එපිකූරිය හා ස්තෝයික දාර්ශනිකයින් කණ්ඩායමක් ද ඔහුට මුණ ගැසුණහ. ඔවුන්ගෙන් ඇතමෙක්, “මේ වාචාලයා කියන්නට අර අඳින්නේ මොනවා දැ?” යි පැවසූහ. සෙසු අය අදහස් දක්වමින්, “මොහු විදේශ දෙවිවරුන් ප්‍රචාරය කරන්නකු සේ පෙනේ” යි කීහ. එසේ කීවේ, පාවුල් යේසුස්වහන්සේ ගැන ද මරණින් නැගිටීම ගැන ද දේශනා කළ බැවිනි. එබැවින් ඔවුහු අරියෝපග රැස්වීම් සභාවට පාවුල් අල්ලාගෙන ගොස්, “ඔබ හඳුන්වා දෙන මේ අලුත් ඉගැන්වීම අපටත් දැනගත හැකි ද? ඔබ දෙසන සමහර අදහස් අපේ කන්වලට හරි අමුතුයි. එනිසා ඒවායේ අර්ථ දැනගැනීමට අප කැමතියි” පැවසූහ. සියලු ඇතන්ස්වරුන් ද එහි විසූ විදේශීන් ද ඔවුන්ගේ මුළු කාලය ම පාහේ ගත කළේ, නවතම මත අදහස් පල කරමින් හා ඒවාට සවන් දෙමින් මිස, අන් හැටියකින් නො වේ.