ක්‍රියා 16:19-34

ක්‍රියා 16:19-34 SCV

එවිට ඇගේ හාම්පුත්තු, ලාභ ඉපැයීමේ තම බලාපොරොත්තු ගිලිහී ගිය බැව් දැක, පාවුල් හා සීලස් බලෙන් ම අල්ලා, වෙළඳ පොළට ඇදගෙන ගොස්, නිසි බලධාරීන් වෙත පැමිණ වූහ. ඉන්පසු විනිසුරුවන් වෙත ඔවුන් ගෙන ගිය ඔවුහු, “මොවුන් යුදෙව්වො; මොවුන් අප නගරයේ මහ කැලඹීමක් ඇති කරමින් රෝමවරුන් වූ අපට පිළිගැනීමට හා පිළිපැදීමට නීති විරෝධී චාරිත්‍ර උගන්වනවා” යි කීහ. ඔවුන්ට පහර දීමට සමූහයා ද එක් වූහ. එවිට ඔවුන් දෙදෙනාගේ හැඳිවත් ඉරා, ඔවුන් කෝටු මස් කරන ලෙස විනිසුරුවෝ නියෝග කළහ. මෙසේ ඉතා දැඩි සේ කෝටු පහර දෙනු ලැබූ පසු, ඔවුහු සිර ගෙයි දමනු ලැබූහ. පරෙස්සමින් ඔවුන් මුර කරන ලෙසට සිරගෙදර නිලධාරියා අණ ලැබී ය. එවැනි අණක් ලද බැවින්, ඔවුන් ඇතුළු සිර කුටියක ලූ හෙතෙම ඔවුන්ගේ පා දඬු කඳේ ගැසී ය. රෑ මැදියමේ පමණ පාවුල් හා සීලස් යාච්ඤා කරන්නටත්, දෙවියන්වහන්සේට ගී ගයන්නටත් වූ අතර අනෙක් සිරකරුවෝ ඊට සවන් දෙමින් සිටියහ. හදිසියේ ම සිර ගෙයි අත්තිවාරම් දෙදරවමින් තදබල භූමිකම්පාවක් විය. සිරගෙදර දොරවල් සියල්ල එක්වන ම ඇරී ගියේ ය. සිරකරුවන් සැමගේ බැඳි බැඳුම් ද ලිහී ගියේ ය. සිර ගෙයි නිලධාරියා අවදි විය. සිර ගෙයි දොරවල් ඇරී තිබෙනු දුටු ඔහු, සිරකරුවන් පැන යන්නට ඇතැයි සිතා සිය දිවි හානිකර ගන්නට තම අසිපත අතට ගත්තේ ය. එසැණේ ම, “කිසි අනතුරක් කර ගන්න එපා! අප සැවොම මෙහි සිටිනවා” යි පාවුල් කෑගැසී ය. එවිට, පන්දම් ඉල්ලා ගත් නිලධාරියා වහ වහා ඇතුළු සිර කුටියට වැද, වෙවුලමින් පාවුල් හා සීලස් ඉදිරියේ දණින් වැටුණේ ය. ඉන්පසු සිර මැදිරියෙන් පිටතට ඔවුන් කැඳවාගෙන අවුත්, “මහත්වරුනි, ගැලවීම ලබන පිණිස මා කුමක් කළ යුතු දැ?” යි විමසී ය. ඔවුහු පිළිතුරු දෙමින්, “යේසුස් ස්වාමින්වහන්සේ අදහා ගන්න. එවිට ඔබ ගැලවීම ලබනු ඇත; ඔබත් ඔබේ ගෙයි වැසි සියල්ලොත් යැ” යි පැවසූහ. ඔවුහු ඉන්පසු ඔහුටත්, ඔහුගේ නිවසේ සෙසු සියල්ලන්ටත් ස්වාමින්වහන්සේගේ වචනය පහදා දුන්හ. සිර ගෙයි නිලධාරියා ඒ රැයේ, ඒ පැයේ ම ඔවුන් දෙදෙනාගේ තැළුම් තුවාල සේදුවේ ය. ඒ සමඟ ම ඔහුත්, ඔහුගේ ගෙයි වැසි සියල්ලොත් බව්තීස්ම ලදහ. ඉන්පසු ඔවුන් සිය නිවසට කැඳවූ සිර ගෙයි නිලධාරියා, ඔවුනට ආහාර පානාදියෙන් සංග්‍රහ කළේ ය. දෙවියන්වහන්සේ අදහා ගන්නට ලැබුණ බැවින් ඔහුත්, ඔහුගේ මුළු ගෘහවාසීනුත් සිටියේ ප්‍රීතියෙන් උතුරමිනි.

ක්‍රියා 16:19-34 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය