ක්‍රියා 15:1-5

ක්‍රියා 15:1-5 SCV

මෙකල යුදයේ සිට අන්තියෝකිය වෙත පැමිණි ඇතමෙක්, “මෝසෙස්ගේ නියෝගය ලෙස චර්මඡේද කරනු ලැබුවොත් මිස, ඔබට ගැලවීම ලබන්නට නො හැකි යැ” යි සහෝදරයින්ට උගන්වන්නට වූහ. මේ ගැන පාවුල් හා බාර්ණබස් ද ඔවුන් ද අතර තියුණු වාදයක් පැන නැගිණි. එබැවින් මේ ප්‍රශ්න ගැන යෙරුසලමේ අපෝස්තුලුවරුන් හා සභා-මූලිකයින් හමුවට පාවුල් හා බාර්ණබස් සමඟ තව සමහර දෙනෙක් ද යා යුතු යයි නියම කර ගැනිණ. සභාව ඔවුන් පිටත් කර යැවී ය. ඔවුහු පිනීකිය හා සමාරිය හරහා ගමන් ගනිමින්, අන්‍ය-ජාතීන්ගේ හැරීමේ පුවත පතළ කරමින්, එහි විසූ සියලු සහෝදරයින්ට මහත් ප්‍රීතියක් ගෙන දුන්හ. යෙරුසලමට ඔවුන් පැමිණි කල, සභාව ද අපෝස්තුලුවරු ද සභා-මූලිකයෝ ද සාදරයෙන් ඔවුන් පිළිගත්හ. ඔවුහු තමන් මගින් දෙවියන්වහන්සේ සිදු කළ හැම දෙයක් ම ඔවුන්ට ප්‍රකාශ කළහ. එවිට පරිසිවරුන්ගේ නිකායට අයත් ඇදහිලිවත් ඇතමෙක් නැගිට, “අන්‍ය-ජාතීන් ද චර්ම-ඡේදනය ලැබිය යුතු ය; මෝසෙස්ගේ ව්‍යවස්ථාව පිළිපැදිය යුතු යැ” යි පැවසූහ.

ක්‍රියා 15:1-5 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය