ක්‍රියා 15:1-12
ක්‍රියා 15:1-12 SCV
මෙකල යුදයේ සිට අන්තියෝකිය වෙත පැමිණි ඇතමෙක්, “මෝසෙස්ගේ නියෝගය ලෙස චර්මඡේද කරනු ලැබුවොත් මිස, ඔබට ගැලවීම ලබන්නට නො හැකි යැ” යි සහෝදරයින්ට උගන්වන්නට වූහ. මේ ගැන පාවුල් හා බාර්ණබස් ද ඔවුන් ද අතර තියුණු වාදයක් පැන නැගිණි. එබැවින් මේ ප්‍රශ්න ගැන යෙරුසලමේ අපෝස්තුලුවරුන් හා සභා-මූලිකයින් හමුවට පාවුල් හා බාර්ණබස් සමඟ තව සමහර දෙනෙක් ද යා යුතු යයි නියම කර ගැනිණ. සභාව ඔවුන් පිටත් කර යැවී ය. ඔවුහු පිනීකිය හා සමාරිය හරහා ගමන් ගනිමින්, අන්‍ය-ජාතීන්ගේ හැරීමේ පුවත පතළ කරමින්, එහි විසූ සියලු සහෝදරයින්ට මහත් ප්‍රීතියක් ගෙන දුන්හ. යෙරුසලමට ඔවුන් පැමිණි කල, සභාව ද අපෝස්තුලුවරු ද සභා-මූලිකයෝ ද සාදරයෙන් ඔවුන් පිළිගත්හ. ඔවුහු තමන් මගින් දෙවියන්වහන්සේ සිදු කළ හැම දෙයක් ම ඔවුන්ට ප්‍රකාශ කළහ. එවිට පරිසිවරුන්ගේ නිකායට අයත් ඇදහිලිවත් ඇතමෙක් නැගිට, “අන්‍ය-ජාතීන් ද චර්ම-ඡේදනය ලැබිය යුතු ය; මෝසෙස්ගේ ව්‍යවස්ථාව පිළිපැදිය යුතු යැ” යි පැවසූහ. මෙම ප්‍රශ්නය සමාලෝචනය කරනු පිණිස, අපෝස්තුලුවරු හා සභා-මූලිකයෝ එක් රැස් වූහ. දිගු විවාදයකින් පසු පේතෘස් ඔවුන් අමතන්නට නැගී සිටියේ ය. “සහෝදරවරුනි අන්‍ය-ජාතීන් මා මුවින් ශුභාරංචි පණිවුඩය අසා අදහා ගනු පිණිස, දෙවියන්වහන්සේ කලකට ඉහතදී ඔබ අතරින් මා තෝරාගත් හැටි ඔබ දන්නවා. හදවත් දන්නා දෙවියන්වහන්සේ අපට දුන් ලෙස ම ඔවුන්ටත් ශුද්ධාත්මයාණන් දීමෙන් සාක්ෂි දී ඇත්තේ, උන්වහන්සේ ඔවුන් ද පිළිගත් බවයි. ඔවුන් හා අප අතරේ කිසිදු වෙනසක් නො කළ උන්වහන්සේ ඇදහිල්ල මගින් ඔවුන්ගේ හදවත් පවිත්‍ර කළ සේක. එසේ නම් අපටවත්, අපේ පියවරුනටවත් දැරිය නො හැකි වූ බර වියගහක් මේ ගෝලයින්ගේ ගෙල මත පැටවීමෙන් දෙවියන්වහන්සේ පරීක්ෂා කිරීමට ඔබ වෙර දරන්නේ ඇයි? ඇත්තෙන් ම, අප විශ්වාස කරන්නේ, ඔවුන් මෙන් ම අපත් ගලවනු ලැබ ඇත්තේ යේසුස් ස්වාමින්වහන්සේගේ අනුග්‍රහය තුළින් වගයි” ප්‍රකාශ කළේ ය. දෙවියන්වහන්සේ අන්‍ය-ජාතීන් අතරේ තමන් ලවා සිදු කළ අනුහස් ලකුණු හා හාස්කම් ගැන පවසද්දී, මුළු සභාව නිහැඬියාවෙන් යුතු ව බාර්ණබස්ට හා පාවුල්ට සවන් දුන්හ.

