ක්‍රියා 14:21-28

ක්‍රියා 14:21-28 SCV

ඒ නගරයේ ශුභාරංචිය දේශනා කළ ඔවුහු, බොහෝ දෙනකු ගෝලයින් බවට හැරවූහ. ඉන්පසු ලුස්ත්‍රා, ඉකෝනිය හා අන්තියෝකිය වෙත හැරී ආ ඔවුහු, ගෝලයින්ගේ සිත් සවිමත් කරමින්, ඇදහිල්ලේ ස්ථිර ව පවතින්නට ඔවුන් දිරිමත් කළහ. “දෙවියන්වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වීමට අප මහත් දුෂ්කරතා මැදින් යා යුතු ව ඇතැ” යි ඔවුහු කීහ. එක් එක් සභාව සඳහා සභා-මූලිකයින් පත් කළ පාවුල් හා බාර්ණබස්, නිරාහාර ව සිට, යාච්ඤා කොට තමන් විශ්වාසය තැබූ ස්වාමින්වහන්සේට ඔවුන් භාර කළහ. පිසිදිය හරහා ගමන් කළ ඔවුහු පම්පිලිය වෙත පැමිණියහ. පර්ගාහි වචනය දේශනා කළ ඔවුහු එතැනින් අත්තාලියා වෙත ගියහ. එතැනින් නැව් නැගුණු ඔවුහු, ආපසු අන්තියෝකිය බලා යාත්‍රා කළහ. ඔවුන් විසින් ඉටු කරන ලද සේවාව සඳහා දෙවියන්වහන්සේගේ අනුග්‍රහයට ඔවුන් කැප කරන ලද්දේ මෙහිදී ය. එහි ළඟා වූ ඔවුහු එහි සභාව රැස් කරවා, දෙවියන්වහන්සේ විසින් තමන් ලවා කරවන ලද සියල්ල ද ඇදහිල්ල කරා අන්‍ය-ජාතීන්ට මගක් හෙළි කර දුන් අයුරු ද විස්තර කළහ. පාවුල් හා බාර්ණබස් එම ගෝලයින් සමඟ බොහෝ කලක් නැවතී සිටියහ.