ක්‍රියා 14:11-19

ක්‍රියා 14:11-19 SCV

පාවුල් කළ ඒ අරුමය දුටු ජන සමූහයා, “මෙන්න! දෙවිවරු මිනිස් වෙසින් අප වෙත බැස ඇවිත්” කියමින් ලුකෝනියානු බසින් ඝෝෂා කළහ. ඔවුහු බාර්ණබස්ට සියුස් කියා ද ප්‍රධාන කතික පාවුල්ට හර්මීස් කියා ද ඇමතූහ. නගර සීමාවෙන් ඔබ්බෙහි පිහිටි සියුස්ගේ දේවාලය භාර කපුවා ගොනුන් ද මල්මාලා ද රැගෙන නගර දොරටුව වෙත ආවේ, ජන සමූහයා සමඟ ඔවුන්ට යාගයක් පිදීමේ අටියෙනි. එහෙත් අපෝස්තුලුවර බාර්ණබස් හා පාවුල් ඒ අසා, තම හැඳිවත් ඉරාගෙන, හනික සමූහයා අතරට වැද, මොර ගසමින්, “මිනිසුනේ, මොනවද මේ කරන්නේ? අපත් නුඹලා වගේ මිනිස්සු පමණයි. අප ආවේ, ‘කිසි ප්‍රයෝජනයක් නැති ඔවැනි දේට පිටුපා, අහසත්, පොළොවත්, මුහුදත් එහි ඇති සියල්ලත් මැවූ ජීවමාන දෙවියන්වහන්සේ වෙත හැරෙන්න’ යන ශුභාරංචිය ඔබට කියන්නටයි. පසුගිය පරම්පරාවලදී ඒ ඒ ජාතීනට තම තමන්ගේ මාර්ගවල යන්නට උන්වහන්සේ ඉඩ හැරියා. එහෙත් එකල ද තමන්වහන්සේ ගැන සාක්ෂි දැරීම අත්හරින්නේ නැතිව, අහසින් වැස්ස එවා, නිසි කල අස්වනු දීමෙන් ද බහුල ලෙස ආහාර සැපයීමෙන් හා ඔබගේ සිත් සොම්නසින් පුරවමින් ද උන්වහන්සේ ඔබට කරුණාව පෑවා” යි කීවේ ය. එහෙත් ඒ වචනවලින් පවා තමනට පූජා ඔප්පු කිරීමෙන්, ජනතාව වැළැක්වීම ඔවුනට හැකි වූයේ මහත් අසීරුවෙනි. එකල අන්තියෝකියෙන් හා ඉකෝනියෙන් පැමිණි යුදෙව්වරුන් ඇතැම් දෙනෙක් ජනයා තම පැත්තට නම්මාගෙන, පාවුල්ට ගල් ගැසූහ. පසුව, ඔහු මළේයැයි සිතූ ඔවුහු, නගරයෙන් පිටතට ඔහු ඇද දැමූහ.

ක්‍රියා 14:11-19 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය