ක්‍රියා 14:1-20

ක්‍රියා 14:1-20 SCV

ඉකෝනියෙහි දී පාවුල් හා බාර්ණබස් යුදෙව් සිනගෝගයට ගොස් දේශනා කළහ. එහි ප්‍රතිඵලය වූයේ, යුදෙව්වරුන් හා ග්‍රීකයින් මහත් සංඛ්‍යාවක් අදහා ගැනීමයි. එහෙත් අදහා ගැනීම ප්‍රතික්ෂේප කළ සෙසු යුදෙව්වරු, විජාතිකයින් කලඹා, සහෝදරවරුනට එරෙහිව ඔවුන්ගේ සිත් දූෂ්‍ය කළහ. එහෙයින් පාවුල් හා බාර්ණබස් ස්වාමින්වහන්සේ උදෙසා නිර්භය ව කතා කරමින්, සෑහෙන කලක් එහිම ගත කළහ. අනුහස් ලකුණු ද හාස්කම් ද පෑමට ඔවුනට වර දෙමින්, ස්වාමින්වහන්සේ තම අනුග්‍රහයේ පණිවුඩය සහතික කළ සේක. නගර ජනයා දෙපිලකට බෙදිණි. සමහරු යුදෙව්වරුන්ගේ පිලට ද සෙසු අය අපෝස්තුලුවරුන්ගේ පිලට ද වන්හ. ඔවුන්ට හිරිහැර කර, ගල් ගසන්නට අන්‍ය-ජාතිකයින්, යුදෙව්වරුන් හා ඔවුන්ගේ නායකයින් අතර කුමන්ත්‍රණයක් විය. එහෙත් ඒ වග දැනගත් ඔවුහු, ඒ නගරයෙන් පලා ගොස්, ලුස්ත්‍රා හා දර්බය යන ලුකොනියාවේ නගරවලට ද ඒ අවට පළාත්වලට ද සේන්දු වී, එහිදී ද ශුභාරංචිය දේශනා කළහ. ලුස්ත්‍රා වැසියකු වූ උපතින් ම දෙපා දුබල, කිසි දිනෙක ඇවිද නැති කොර මිනිහෙක් වාඩිගෙන, පාවුල්ගේ දේශනයකට කන් දෙමින් සිටියේ ය. පාවුල් එක එල්ලේ ඔහු දෙස බැලූ කල, සුවය ලැබීමට ඔහුට ඇදහිල්ල ඇති වග දැක, “දෙපයින් නැගී සිටිනු” යි උස් හඬින් පැවසී ය. එවිට ඒ මිනිසා උඩ පැන, ඇවිදින්නට වන්නේ ය. පාවුල් කළ ඒ අරුමය දුටු ජන සමූහයා, “මෙන්න! දෙවිවරු මිනිස් වෙසින් අප වෙත බැස ඇවිත්” කියමින් ලුකෝනියානු බසින් ඝෝෂා කළහ. ඔවුහු බාර්ණබස්ට සියුස් කියා ද ප්‍රධාන කතික පාවුල්ට හර්මීස් කියා ද ඇමතූහ. නගර සීමාවෙන් ඔබ්බෙහි පිහිටි සියුස්ගේ දේවාලය භාර කපුවා ගොනුන් ද මල්මාලා ද රැගෙන නගර දොරටුව වෙත ආවේ, ජන සමූහයා සමඟ ඔවුන්ට යාගයක් පිදීමේ අටියෙනි. එහෙත් අපෝස්තුලුවර බාර්ණබස් හා පාවුල් ඒ අසා, තම හැඳිවත් ඉරාගෙන, හනික සමූහයා අතරට වැද, මොර ගසමින්, “මිනිසුනේ, මොනවද මේ කරන්නේ? අපත් නුඹලා වගේ මිනිස්සු පමණයි. අප ආවේ, ‘කිසි ප්‍රයෝජනයක් නැති ඔවැනි දේට පිටුපා, අහසත්, පොළොවත්, මුහුදත් එහි ඇති සියල්ලත් මැවූ ජීවමාන දෙවියන්වහන්සේ වෙත හැරෙන්න’ යන ශුභාරංචිය ඔබට කියන්නටයි. පසුගිය පරම්පරාවලදී ඒ ඒ ජාතීනට තම තමන්ගේ මාර්ගවල යන්නට උන්වහන්සේ ඉඩ හැරියා. එහෙත් එකල ද තමන්වහන්සේ ගැන සාක්ෂි දැරීම අත්හරින්නේ නැතිව, අහසින් වැස්ස එවා, නිසි කල අස්වනු දීමෙන් ද බහුල ලෙස ආහාර සැපයීමෙන් හා ඔබගේ සිත් සොම්නසින් පුරවමින් ද උන්වහන්සේ ඔබට කරුණාව පෑවා” යි කීවේ ය. එහෙත් ඒ වචනවලින් පවා තමනට පූජා ඔප්පු කිරීමෙන්, ජනතාව වැළැක්වීම ඔවුනට හැකි වූයේ මහත් අසීරුවෙනි. එකල අන්තියෝකියෙන් හා ඉකෝනියෙන් පැමිණි යුදෙව්වරුන් ඇතැම් දෙනෙක් ජනයා තම පැත්තට නම්මාගෙන, පාවුල්ට ගල් ගැසූහ. පසුව, ඔහු මළේයැයි සිතූ ඔවුහු, නගරයෙන් පිටතට ඔහු ඇද දැමූහ. එහෙත් ගෝලයින් පැමිණ, ඔහු වට කොට ගත් කළ, යළි නැගී සිටි පාවුල් ආපසු නගරයට අවුත්, පසුව දා බාර්ණබස් සමඟ දර්බය බලා පිටත් විය.