ක්‍රියා 13:26-41

ක්‍රියා 13:26-41 SCV

“සහෝදරවරුනි; ආබ්‍රහම්ගේ දරුවනි, දෙවියන්වහන්සේට භය ඇත්තනි, ගැලවීමේ මේ ශුභාරංචිය එවා ඇත්තේ අප වෙතයි. යෙරුසලම් ජනයාත්, ඔවුන්ගේ පාලකයනුත් යේසුස්වහන්සේ කවරෙක්දැයි හැඳින ගත්තේ නැත. එහෙත්, උන්වහන්සේ දණ්ඩනයට පත් කරමින් ඔවුන් කළේ, හැම සබත් දවසක කියවනු ලබන දිවැසිවරුන්ගේ දිවැසි වැකි ඉෂ්ට කිරීමයි. උන්වහන්සේට මරණ දණ්ඩනය දීමට හේතු සාධකයක් සොයාගත නො හැකි වුවත්, උන්වහන්සේ මරා දමන ලෙස ඔවුහු පිලාත්ගෙන් ඉල්ලූහ. මෙසේ උන්වහන්සේ ගැන ලියවී තිබූ හැම දේ ඉටු කරමින්, ඔවුහු උන්වහන්සේ ගසින් බාවා සොහොනක තැන්පත් කළහ. එහෙත් දෙවියන්වහන්සේ, මළවුන්ගෙන් උන්වහන්සේ නැගිට වූ සේක. උන්වහන්සේ සමඟ ගලීලයේ සිට යෙරුසලමට ගමන් කළ අය බොහෝ දවසක් උන්වහන්සේ දුටුවහ. ඔවුහු දැන් ජනයාට උන්වහන්සේගේ සාක්ෂිකරුවෝයි. “අප ඔබට ප්‍රකාශ කරන්නේ මේ ශුභාරංචියයි. දෙවියන්වහන්සේ අපේ පියවරුනට දුන් පොරොන්දුව යේසුස්වහන්සේ නැගිටුවීම මගින් උන්වහන්සේ, ඔවුන්ගේ දරුවන් වන අපට ඉෂ්ට කළ වගයි. ඒ ගැන ගීතාවලී දෙවැන්නෙහි ලියා ඇත්තේ, “ ‘ඔබ මගේ පුත්‍රයාණන් ය; මම අද ඔබ ජනිත කළෙමි’ යනුවෙනි. කිසි කලෙක දිරා ජරාවට පත් නො වන පිණිස, දෙවියන්වහන්සේ විසින් උන්වහන්සේ මළවුන්ගෙන් නැගිටුවන ලද කාරණය මෙම ශුද්ධ ලියවිලි පාඨයෙන් හුවා දැක් වේ: “ ‘දාවිත්ට මා පොරොන්දු වූ ශුද්ධ වූ නියත ආශිර්වාද මම ඔබට දෙමි.’ ශුද්ධ ලියවිල්ලේ තවත් තැනක ඒ ගැන මෙසේ දැක් වේ: “ ‘ඔබගේ ශුද්ධවතාණන්ට දිරා ජරාවට යෑම අත්දකින්නට ඔබ ඉඩ දෙන්නේ නැත’ යන්නයි. “දාවිත්, තම පරම්පරාවේදී, දෙවියන්වහන්සේගේ අරමුණට සේවය කර, සැතපී, තම පියවරුන් අතරේ තැන්පත් කරන ලදුව, ඔහුගේ සිරුර දිරා ගියා. එහෙත් දෙවියන්වහන්සේ විසින් නැගිටුවන ලද තැනැත්තාණන් දිරා ජරාවට පත් වූයේ නැත. “එබැවින් මා සහෝදරයිනි, පාප කමාව ප්‍රකාශ කරනු ලබන්නේ, මෙම යේසුස්වහන්සේ මගින් වග ඔබ දැනගත යුතුයි. මෝසෙස්ගේ නීතිය මගින් හැම දෙයක් සඳහා ම ධර්මිෂ්ඨ කරනු ලැබීම ලැබිය නො හැකි නමුදු, මුන්වහන්සේ අදහා ගන්නා සෑම කෙනකු ම ඒ තුළින් ධර්මිෂ්ඨ කරනු ලබති. එබැවින් දිවැසිවරුන් විසින් පෙර කියන ලද මේ කාරණා ඔබට සිදු නො වන පිණිස වග බලා ගන්න: “ ‘ගරහන්නනි, බලනු, විස්මිත වී නැසෙනු, මන්ද යමකු ඔබට කියූවත් ඔබ විශ්වාස නො කරන යම් දෙයක්, ඔබේ දවස්වල මම කරන්නෙමි.’”