ක්‍රියා 13:24-52

ක්‍රියා 13:24-52 SCV

යේසුස්වහන්සේගේ ඊමට පෙර, යොහන් සියලු ඉශ්‍රායෙල්වරුනට පසුතැවිල්ලේ බව්තීස්මය ප්‍රකාශ කළේ ය. යොහන් සිය සේවය සමාප්ත කරමින්, ‘ඔබ සිතන්නේ මා කවරෙක් ය කියා ද? මා එතුමාණන් නො වේ. සත්තකින් ම, එතුමාණෝ මට පසුව එන සේක. එතුමාණන්ගේ පාවහන් පටි මුදන්නට තරම් වත් මා වටින්නේ නැතැ’ යි කීවේ ය. “සහෝදරවරුනි; ආබ්‍රහම්ගේ දරුවනි, දෙවියන්වහන්සේට භය ඇත්තනි, ගැලවීමේ මේ ශුභාරංචිය එවා ඇත්තේ අප වෙතයි. යෙරුසලම් ජනයාත්, ඔවුන්ගේ පාලකයනුත් යේසුස්වහන්සේ කවරෙක්දැයි හැඳින ගත්තේ නැත. එහෙත්, උන්වහන්සේ දණ්ඩනයට පත් කරමින් ඔවුන් කළේ, හැම සබත් දවසක කියවනු ලබන දිවැසිවරුන්ගේ දිවැසි වැකි ඉෂ්ට කිරීමයි. උන්වහන්සේට මරණ දණ්ඩනය දීමට හේතු සාධකයක් සොයාගත නො හැකි වුවත්, උන්වහන්සේ මරා දමන ලෙස ඔවුහු පිලාත්ගෙන් ඉල්ලූහ. මෙසේ උන්වහන්සේ ගැන ලියවී තිබූ හැම දේ ඉටු කරමින්, ඔවුහු උන්වහන්සේ ගසින් බාවා සොහොනක තැන්පත් කළහ. එහෙත් දෙවියන්වහන්සේ, මළවුන්ගෙන් උන්වහන්සේ නැගිට වූ සේක. උන්වහන්සේ සමඟ ගලීලයේ සිට යෙරුසලමට ගමන් කළ අය බොහෝ දවසක් උන්වහන්සේ දුටුවහ. ඔවුහු දැන් ජනයාට උන්වහන්සේගේ සාක්ෂිකරුවෝයි. “අප ඔබට ප්‍රකාශ කරන්නේ මේ ශුභාරංචියයි. දෙවියන්වහන්සේ අපේ පියවරුනට දුන් පොරොන්දුව යේසුස්වහන්සේ නැගිටුවීම මගින් උන්වහන්සේ, ඔවුන්ගේ දරුවන් වන අපට ඉෂ්ට කළ වගයි. ඒ ගැන ගීතාවලී දෙවැන්නෙහි ලියා ඇත්තේ, “ ‘ඔබ මගේ පුත්‍රයාණන් ය; මම අද ඔබ ජනිත කළෙමි’ යනුවෙනි. කිසි කලෙක දිරා ජරාවට පත් නො වන පිණිස, දෙවියන්වහන්සේ විසින් උන්වහන්සේ මළවුන්ගෙන් නැගිටුවන ලද කාරණය මෙම ශුද්ධ ලියවිලි පාඨයෙන් හුවා දැක් වේ: “ ‘දාවිත්ට මා පොරොන්දු වූ ශුද්ධ වූ නියත ආශිර්වාද මම ඔබට දෙමි.’ ශුද්ධ ලියවිල්ලේ තවත් තැනක ඒ ගැන මෙසේ දැක් වේ: “ ‘ඔබගේ ශුද්ධවතාණන්ට දිරා ජරාවට යෑම අත්දකින්නට ඔබ ඉඩ දෙන්නේ නැත’ යන්නයි. “දාවිත්, තම පරම්පරාවේදී, දෙවියන්වහන්සේගේ අරමුණට සේවය කර, සැතපී, තම පියවරුන් අතරේ තැන්පත් කරන ලදුව, ඔහුගේ සිරුර දිරා ගියා. එහෙත් දෙවියන්වහන්සේ විසින් නැගිටුවන ලද තැනැත්තාණන් දිරා ජරාවට පත් වූයේ නැත. “එබැවින් මා සහෝදරයිනි, පාප කමාව ප්‍රකාශ කරනු ලබන්නේ, මෙම යේසුස්වහන්සේ මගින් වග ඔබ දැනගත යුතුයි. මෝසෙස්ගේ නීතිය මගින් හැම දෙයක් සඳහා ම ධර්මිෂ්ඨ කරනු ලැබීම ලැබිය නො හැකි නමුදු, මුන්වහන්සේ අදහා ගන්නා සෑම කෙනකු ම ඒ තුළින් ධර්මිෂ්ඨ කරනු ලබති. එබැවින් දිවැසිවරුන් විසින් පෙර කියන ලද මේ කාරණා ඔබට සිදු නො වන පිණිස වග බලා ගන්න: “ ‘ගරහන්නනි, බලනු, විස්මිත වී නැසෙනු, මන්ද යමකු ඔබට කියූවත් ඔබ විශ්වාස නො කරන යම් දෙයක්, ඔබේ දවස්වල මම කරන්නෙමි.’” පාවුල් හා බාර්ණබස් සිනගෝගයෙන් නික්ම යෑමට සැරසෙද්දී, ඊළඟ සබතේ ද මේ දෑ පිළිබඳව කතා කරන ලෙස, ජනයා ඔවුන්ට ඇරියුම් කළහ. සභාව විසිර ගිය පසු, යුදෙව්වරුන් හා යුදෙව් දහම වැලඳගත්තවුන් බොහෝ දෙනෙක් පාවුල් හා බාර්ණබස් පසු පස ගියහ. ඒ දෙදෙන ඔවුන් හා සාකච්ඡා කරමින්, දෙවියන්වහන්සේගේ අනුග්‍රහයෙහි ම එල්බ සිටින ලෙසට ඔවුන් උනන්දු කළහ. ඊළඟ සබතේ ස්වාමින්වහන්සේගේ වචන අසන්නට මුළු පුරවරය ම පාහේ එක් රැස් වූහ. එහෙත් ඒ මහ සෙනඟ දුටු කල, යුදෙව්වරු ඊර්ෂ්‍යාවෙන් පිරී, පාවුල්ගේ දේශනයට එරෙහිව අපහාසාත්මක ව කතා කළහ. එවිට පාවුල් හා බාර්ණබස් එඩිතර ව ඔවුන්ට පිළිතුරු දෙමින්, “දෙවියන්වහන්සේගේ වචනය පළමු කොට යුදෙව් ඔබට ප්‍රකාශ කිරීමට අපට යුතු ව තිබුණා. එහෙත් ඔබ එය ප්‍රතික්ෂේප කරමින් සදාතන ජීවනය ලැබීමට ඔබ නො වටනේයැයි ඔබ ම නිශ්චය කළ නිසා, මෙන්න, අපි දැන් අන්‍ය-ජාතිකයින් වෙත හැරී සිටිනවා. මන්ද ස්වාමින්වහන්සේ ම අපට නියෝග කොට ඇත්තේ මෙයයි: “ ‘පොළෝ සීමා-කෙළවරවල් දක්වා ම මගේ ගැලවීම ගෙනෙනු පිණිස, මම අන්‍ය-ජාතීනට ඔබ එළියක් කරන්නෙමි.’ යනුවෙනැ” යි පැවසූහ. අන්‍ය-ජාතීහු ඒ ඇසූ කල, ස්වාමින්වහන්සේගේ වචනයෙහි ප්‍රමෝද වීමටත්, ඊට ගෞරව මහිම දීමටත් වන්හ. සදාතන ජීවනයට තෝරාගනු ලැබූ සියල්ලෝ අදහා ගත්තෝ ය. ස්වාමින්වහන්සේගේ වචනය ඒ පළාත මුළුල්ලේ ප්‍රචලිත විය. එහෙත් යුදෙව්වරු දේව භය ඇති කුල ස්ත්‍රීන් ද එපුර ප්‍රධාන මිනිසුන් ද උසිගන්වා පාවුල් හා බාර්ණබස්ට එරෙහි හිංසනයකට ඔවුන් පොලඹවා, ඔවුන්ගේ පළාතෙන් ඔවුන් පන්නා දැමූහ. එවිට තම පා දූලි ඔවුන්ට එරෙහිව ගසා දැමූ ඔවුහු, ඉකෝනිය වෙත පිටත් ව ගියහ. එහෙත් ගෝලයෝ, ප්‍රීති ප්‍රමෝදයෙන් ද ශුද්ධාත්මයාණන්ගෙන් ද පූර්ණ කරන ලදහ.

ක්‍රියා 13:24-52 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය