පාවුල් හා ඔහුගේ සගයෝ පාපස් වෙතින් නැව් නැග, පම්පිලියෙහි පර්ගා නගරයට ගොඩ බටහ. යොහන් යෙරුසලම් වෙත ආපසු යෑමට එහිදී ඔවුන්ගෙන් වෙන් විය. ඔවුහු පර්ගාහි සිට පිසිදියාහි අන්තියෝකිය බලා ගියහ. ඔවුහු සබත් දවසේ එහි සිනගෝගයට පිවිස අසුන් ගත්හ. ව්‍යවස්ථාවෙන් හා දිවැසිවරුන්ගෙන් කියවූ පසු, සිනගෝග නිලධාරීහු ඔවුන්ට පණිවුඩයක් එවමින්, “සහෝදරයිනි, ජනයා දිරිගන්වන යම් උපදෙසක් ඇතොත් පවසන්නැ” යි දැන්වූහ.
එකල, අසුනින් නැගී සිටි පාවුල් සභාවට අතින් සංඥා කර, කතා කරන්නට වන්නේ ය: “ඉශ්රායෙල් ජනයිනි, දෙවියන්වහන්සේට භය ඇත්තනි, මට සවන් දෙන්න. ඉශ්රායෙල් ජනයාගේ දෙවියන්වහන්සේ, අප ආදි පියවරුන් තෝරා ගෙන, ඔවුන් ඊජිප්තු දේශයේ සිටියදී, ඔවුන් සමෘද්ධ කර, වික්‍රමාන්විත බලයකින් එම දේශයෙන් පිටතට ඔවුන් ගෙන ආ සේක. උන්වහන්සේ වසර හතළිහක් පමණ පාළුකරයේ ඔවුන්ගේ ගති පැවතුම් ඉවසූ සේක. උන්වහන්සේ කානාන් දේශයේ ජාතීන් හතක් විනාශ කර, ඔවුන්ගේ දේශය තම ජනයාට උරුමයක් කොට දුන් සේක. මේ සියල්ල සිදුවීමට වසර හාරසිය පනහක් පමණ ගත විය.
“අනතුරුව, දිවැසිවර සාමුවෙල්ගේ කාලය තෙක්, උන්වහන්සේ ඔවුන්ට විනිශ්චයකරුවන් දුන් සේක. ඉන්පසු ජනයා තමන්ට රජකු ඉල්ලා සිටියෙන්, දෙවියන්වහන්සේ බෙන්යමින් වංශික කීෂ්ගේ පුත්‍ර සාවුල් හතළිස් වසරකට ඔවුන්ට දුන් සේක. ඉන්පසු සාවුල් ඉවත් කළ උන්වහන්සේ, රජකමට දාවිත් පත් කළ සේක. උන්වහන්සේ ඔහු ගැන සාක්ෂි දෙමින්: ‘මගේ හදවතට එකඟ යෙස්සේගේ පුත්‍ර දාවිත් මම සොයා ගතිමි; ඔහු මුළුමනින් මගේ කැමැත්ත කරනු ඇතැ’ යි පැවසූ සේක.
“මෙම මිනිසාගේ පරපුරෙන් දෙවියන්වහන්සේ ස්වකීය පොරොන්දුව ලෙස ඉශ්රායෙල් ජනයාට ගැලවුම්කරුවාණන් වූ යේසුස්වහන්සේ ලබා දුන් සේක. යේසුස්වහන්සේගේ ඊමට පෙර, යොහන් සියලු ඉශ්‍රායෙල්වරුනට පසුතැවිල්ලේ බව්තීස්මය ප්‍රකාශ කළේ ය. යොහන් සිය සේවය සමාප්ත කරමින්, ‘ඔබ සිතන්නේ මා කවරෙක් ය කියා ද? මා එතුමාණන් නො වේ. සත්තකින් ම, එතුමාණෝ මට පසුව එන සේක. එතුමාණන්ගේ පාවහන් පටි මුදන්නට තරම් වත් මා වටින්නේ නැතැ’ යි කීවේ ය.
“සහෝදරවරුනි; ආබ්‍රහම්ගේ දරුවනි, දෙවියන්වහන්සේට භය ඇත්තනි, ගැලවීමේ මේ ශුභාරංචිය එවා ඇත්තේ අප වෙතයි. යෙරුසලම් ජනයාත්, ඔවුන්ගේ පාලකයනුත් යේසුස්වහන්සේ කවරෙක්දැයි හැඳින ගත්තේ නැත. එහෙත්, උන්වහන්සේ දණ්ඩනයට පත් කරමින් ඔවුන් කළේ, හැම සබත් දවසක කියවනු ලබන දිවැසිවරුන්ගේ දිවැසි වැකි ඉෂ්ට කිරීමයි. උන්වහන්සේට මරණ දණ්ඩනය දීමට හේතු සාධකයක් සොයාගත නො හැකි වුවත්, උන්වහන්සේ මරා දමන ලෙස ඔවුහු පිලාත්ගෙන් ඉල්ලූහ. මෙසේ උන්වහන්සේ ගැන ලියවී තිබූ හැම දේ ඉටු කරමින්, ඔවුහු උන්වහන්සේ ගසින් බාවා සොහොනක තැන්පත් කළහ. එහෙත් දෙවියන්වහන්සේ, මළවුන්ගෙන් උන්වහන්සේ නැගිට වූ සේක. උන්වහන්සේ සමඟ ගලීලයේ සිට යෙරුසලමට ගමන් කළ අය බොහෝ දවසක් උන්වහන්සේ දුටුවහ. ඔවුහු දැන් ජනයාට උන්වහන්සේගේ සාක්ෂිකරුවෝයි.