ක්‍රියා 12:1-10
ක්‍රියා 12:1-10 SCV
හෙරෝද් රජ එදවස්හි සභාවට අයත් ඇතැම් දෙනකුට පීඩා කරන්නට වන්නේ ය. ඔහු යොහන්ගේ සහෝදර යාකොබ් කඩුවෙන් මැරවී ය. එය යුදෙව්වරුන්ගේ සතුටට හේතු වූ බව දුටු ඔහු, ඉන් නො නැවතී පේතෘස් ද අත්අඩංගුවට ගත්තේ ය. එය සිදු වූයේ නුමුහුන් රොටි මංගල්‍යය අතර තුර ය. පේතෘස් අත්අඩංගුවට ගත් හෙරෝද්, ඔහු සිර ගෙයි දමා, ඔහු මුර කිරීමේ කාරිය, මුර භටයින් සිව් දෙනකු බැගින් යුතු මුර කණ්ඩායම් හතරකට පැවරී ය. පාස්කුවෙන් පසු ප්‍රසිද්ධියේ ඔහු විභාග කිරීම හෙරෝද්ගේ අදහස විය. පේතෘස් මෙසේ සිර අඩස්සියේ පසු විය; එහෙත් සභාව ඔහු උදෙසා දෙවියන්වහන්සේට උදක් ම යාච්ඤා කළහ. හෙරෝද් නඩු විභාගයට ඔහු ගෙන ඒමට කලින් දින රැයේ පේතෘස් දම්වැල් දෙකකින් බඳිනු ලැබ, හේවායින් දෙදෙනකුට මැදි ව නිදා සිටියේ ය; සෙසු මුර භටයෝ සිර ගෙයි දොරටු මුර කළහ. ස්වාමින්වහන්සේගේ දූතයකු හදිසියේ එහි පෙනුණි; මැදිරිය තුළ එළියක් බැබළිණි. ඔහු පේතෘස්ගේ ඇලයට තට්ටු කර ඔහු පුබුදුවා, “හනික නැගිටින්නැ” යි කීවේ ය. එවිට පේතෘස්ගේ දෑත බැඳුණු යදම්, ලිහී වැටිණි. “ඔබේ ඇඳුම් හැඳ, පාවහන් ලා ගන්නැ” යි දේව දූතයා පේතෘස්ට කී ය. පේතෘස් ඔහු කී ලෙස කළේ ය. “දැන්, ඔබේ කබාය පොරවාගෙන මා පසු පස එන්නැ” යි දේව දූතයා ඔහුට කීවේ ය. පේතෘස් ඔහු පසුපසින් පිටතට ආවේ ය. එහෙත් දේව දූතයා අතින් මේ සිදු වන්නේ සැබෑ සිදුවීම් බැව් ඔහු නො දත්තේ ය. ඔහු සිතුවේ තමා දර්ශනයක් දකිනවා කියා ය. ඔවුහු පළමු හා දෙවන මුරපොළවල් පසු කොට, නගරයට පිවිසෙන යකඩ දොරටුව වෙත ළඟා වූහ. ඉබේ ම දොරටුව ඔවුන්ට විවර විණි; ඉන් පිටතට වන් ඔවුන් ගමන් කරමින් එක් වීදියක් පසු කරද්දී, සැණෙක දේව දූතයා ඔහු හැර ගියේ ය.

