ක්‍රියා 11:4-18

ක්‍රියා 11:4-18 SCV

පේතෘස් පිළිතුරු දෙන්නට වී, සිදු වූ සියල්ල අනුපිළිවෙලින් පහදමින්, “යොප්පා නුවරදී මම යාච්ඤා කරමින් සිටියදී, දැහැන් ගත ව දර්ශනයක් දුටුවා. විශාල රුවලක් වැනි යමක් එහි සිවු කොනින් අහසේ සිට පහත් කරනු මා දුටුවා. එය මා අසලට ම පහත් වුණා. එකල විපරමින් එදෙස බැලූ මා දුටුවේ පොළොවේ වෙසෙන සිවුපාවුන්, වන මෘගයින් හා උරගයින් ද අහස් පක්ෂීන් ද එහි සිටින වගයි. එවිට, ‘පේතෘස් නැගිට, මරා කන්නැ’ යි මා අමතන කටහඬක් මට ඇසුණා. “එවිට මා, ‘නෑ ස්වාමිනි, අකැප, අපවිත්‍ර කිසිවක් කිසි කලෙක මගේ මුවට ඇතුළු වූයේ නැතැ’ යි කීවා. “අහසින් මා ඇමතූ කටහඬ දෙවන වරට මා අමතමින්, ‘දෙවියන්වහන්සේ පවිත්‍ර කළ කිසිවක් අකැපය කියා නො කියන්නැ’ යි මට කීවා. තුන් වතාවක් ම මෙලෙස සිදු වී ඉන්පසු ඒ සියල්ල යළි අහසට ම ඇදගැනුනා. “කායිසාරියේ සිට මා වෙත එවනු ලැබූ මිනිසුන් තිදෙනෙක්, ඔන්න එවෙලේම අප සිටි ගේ දොරකඩට ම ඇවිත් නැවතුණා. ‘ඔවුන් සමඟ යෑමට නො පැකිළෙන්නැ’ යි ආත්මයාණන්වහන්සේ මට කීවා. මෙම සහෝදරයින් හයදෙනා ද මා සමඟ ගමනට සහභාගි වුණා. මෙසේ අප ඒ මිනිසාගේ ගෙදරට ඇතුළු වුණා. එවිට ඔහු තම නිවසේදී දේව දූතයකු තමාට පෙනුන හැටිත්, ‘යොප්පාවට පණිවුඩකරුවන් යවා පේතෘස් නමින් හඳුන්වන සීමොන් කැඳවන්න; ඔබටත්, ඔබ ගෙයි වැසියන් හැමටත් ගැලවීම සලසන පුවතක් ඔහු ඔබ වෙත ගෙනෙනු ඇතැ’ යි පැවසූ අයුරුත් අපට විස්තර කළා. “මා ඔවුන්ට කතා කරන්නට පටන් ගනිත් ම, ශුද්ධාත්මයාණන් මුලින් අප වෙත පහළ වූ ලෙස, ඔවුන් වෙත ද පැමිණියා. එවිට ස්වාමින්වහන්සේ කී දේ මට මතක් වුණා; එනම්, ‘යොහන්, මිනිසුන් බව්තීස්ම කළේ වතුරිනි. එහෙත් ඔබ බව්තීස්මය ලබනු ඇත්තේ ශුද්ධාත්මයාණන්ගෙනි’ යන්නයි. අප යේසුස් ක්‍රිස්තුස් ස්වාමින්වහන්සේ අදහාගත් කල දෙවියන්වහන්සේ අපට දුන් එම දීමනාව ම ඔවුන්ටත් දුන් සේක් නම්, දෙවියන්වහන්සේට එරෙහි වීමට මා කවරෙක් දැ?” යි පැවසී ය. පේතෘස්ගේ එම කතාව ඇසූ පසු, ඔවුන්ගේ විරෝධතා නැවතිණි. “එසේ නම් ජීවනය පිණිස වූ පසුතැවිල්ල දෙවියන්වහන්සේ අන්‍ය-ජාතීන්ටත් අනුමත කළ සේකැ” යි කියමින් ඔවුහු දෙවියන්වහන්සේට ප්‍රශංසා කළහ.