ක්‍රියා 11:19-26

ක්‍රියා 11:19-26 SCV

ස්තේපන් සම්බන්ධ පීඩාව හේතුවෙන් විසුරුවනු ලැබූවෝ යුදෙව්වරුනට පමණක් වචනය පවසමින්, පිනීකිය, සයිප්‍රස් හා අන්තියෝකිය දක්වා ගමන් කළහ. එහෙත් සයිප්‍රස් හා සිරේනියා වැසියන් වූ ඔවුන්ගෙන් ඇතමෙක් අන්තියෝකිය වෙත ගොස්, යේසුස් ස්වාමින්වහන්සේ පිළිබඳ ශුභාරංචිය ග්‍රීකයින්ටත් ප්‍රකාශ කළහ. ස්වාමින්වහන්සේගේ හස්තය ඔවුන් සමඟ වූයෙන්, අදහාගත් ඉතා විශාල ජන සංඛ්‍යාවක් ස්වාමින්වහන්සේ වෙත හැරුණහ. මෙම පුවත් යෙරුසලම් සභාවේ සවන් වැකිණි. එබැවින් ඔවුහු අන්තියෝකිය වෙත බාර්ණබස් යැවූහ. එහි පැමිණි බාර්ණබස්, ඔවුන් වෙත වූ දෙවියන්වහන්සේගේ අනුග්‍රහය දැක ප්‍රමෝදවත් ව, ඔවුන් ධෛර්යවත් කරමින්, තමන්ගේ මුළු හදින් ස්වාමින්වහන්සේට විශ්වාසවන්ත ව පැවත සිටින ලෙස අවවාද කළේ ය. බාර්ණබස්, ශුද්ධාත්මයාණන්ගෙන් හා ඇදහිල්ලෙන් පූර්ණ ගුණවත් මනුෂ්‍යයෙකි. මෙසේ ජනයාගෙන් ඉතා විශාල පිරිසක් ස්වාමින්වහන්සේ වෙතට ගෙනෙන ලදහ. ඉන්පසු බාර්ණබස්, සාවුල් සොයා තාර්සස් බලා ගොස්, ඔහු සම්භ ව අන්තියෝකිය වෙත කැඳවාගෙන ආවේ ය. මෙසේ බාර්ණබස් හා සාවුල් අන්තියෝකියේ සභාව හමුවට ගොස්, අවුරුද්දක් මුළුල්ලේ බොහෝ දෙනකුට ඉගැන්වූහ. ගෝලයින් ක්‍රිස්තියානි යන නමින් මුලින් ම අමතනු ලැබුවේ අන්තියෝකියේදී ය.

ක්‍රියා 11:19-26 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය