ක්‍රියා 10:9-33

ක්‍රියා 10:9-33 SCV

පසු දින ඔවුන් පුරවරයට ළඟා වන කල, සවැනි පැයේදී පමණ පේතෘස් යාච්ඤා කරන්නට නිවසේ පියස්සට නැගුණේ ය. ඔහුට කුස ගිනි දැනිණි. එබැවින් අහරට යමක් ඕනෑ විය. එහෙත් අහර පිළියෙල වන අතරේ ඔහු දැහැනකට වැටිණි. එවිට අහස විවර ව, විශාල රුවල් රෙද්දක් වැනි යමක් එහි සිවු කොනින් පොළොවට පහත් කරනු ඔහු දුටුවේ ය. සියලු වර්ගයේ සිවුපාවුන්, පොළොවේ උරගයින් හා අහස් පක්ෂීහු එහි වූහ. එවිට, “පේතෘස් නැගිට, මරා කන්නැ” යි කියන කටහඬක් ඔහුට ඇසිණි. පේතෘස් පිළිතුරු දෙමින්, “නෑ ස්වාමිනි! අකැප, අපවිත්‍ර කිසිවක් මා කිසි කලෙක කෑවේ නැතැ” යි කීවේ ය. එම කටහඬ දෙවන වරට ඔහු අමතමින්, “දෙවියන්වහන්සේ පවිත්‍ර කළ කිසිවක් අකැපය කියා නො කියන්නැ” යි පැවසී ය. තුන් වතාවක් ම එසේ සිදු විණි. ඉන්පසු එක්වන ම එය අහසට ඇද ගනු ලැබිණි. තමා දුටු ඒ දර්ශනයේ අරුත කිමෙක්දැයි නො වැටහී, පේතෘස් කල්පනා කරමින් සිටියදී මෙන්න! කොර්නේලියස් වෙතින් පැමිණි පණිවුඩකරුවෝ සීමොන්ගේ නිවස සොයාගෙන ගේ දොරකඩට ම අවුත්, පේතෘස් නමින් හැඳින්වෙන සීමොන් එහි නැවතී ඉන්නවාදැයි උස් හඬින් විමසූහ. පේතෘස් තමා දුටු දර්ශනය ගැන සිත සිතා සිටියදී, ආත්මයාණන්වහන්සේ ඔහුට කතා කොට, “අන්න, මිනිස්සු තුන් දෙනෙක් ඔබ සොයා ඇවිත්; නැගිට පහළට බහින්න; ඔවුන් සමඟ යෑමට නො පැකිළෙන්න; මන්ද ඔවුන් එවුවේ මම” යැයි කී සේක. එබැවින් පහළ බැස, ඒ මිනිසුන් හමුවට ආ පේතෘස්, “ඔබ සොයන තැනැත්තා මමයි. ඔබ ආ කාරණය කිමෙක් දැ?” යි ඇසී ය. ඔවුහු පිළිතුරු දෙමින්, “අප ආවේ කොර්නේලියස් නම් සියයේ සේනාංක සෙන්පති වෙතින්. ධර්මිෂ්ඨ, දේව භයින් යුතු කෙනෙක් වන ඔහු මුළු යුදෙව් ජනයාගේ ගෞරවය දිනා සිටී. ශුද්ධ දේව දූතයෙක් ඔහුට දර්ශන වී, ඔබ පවසන දෑ අසන පිණිස, ඔහුගේ නිවසට ඔබ කැඳවන ලෙස දන්වා ඇතැ” යි පැවසූහ. එවිට පේතෘස් තමාගේ අමුත්තන් වශයෙන් ඒ මිනිසුන් ගෙතුළට කැඳවී ය. පසු දා පේතෘස් නැගිට, ඔවුන් සමඟ පිටත් විය. යොප්පාහි සහෝදරයින් කීප දෙනෙක් ද ගමනට එක් වූහ. පසු දා ඔවුන් කායිසාරියට ළඟා වන විට, ඔවුන්ගේ පැමිණීම බලාපොරොත්තුව, කොර්නේලියස් තම නෑයින් ද හිත මිතුරන් ද තම නිවසට කැඳවා තිබිණ. පේතෘස් ගෙට ඇතුළු වෙත් ම, ඔහු හමුවට ආ කොර්නේලියස් ඔහුගේ පාමුල වැටී වැන්දේ ය. එහෙත් පේතෘස්, ඔහු නැගිටුවමින්, “නැගිටින්න; මාත් මනුෂ්‍යයකු පමණ යැ” යි පැවසී ය. ඔහු සමඟ කතා කරමින්, ගෙතුළට පිවිසි පේතෘස්, මහත් පිරිසක් එහි රැස් ව සිටිනු දුටුවේ ය. ඔහු ඔවුන් අමතමින්, “යුදෙව්වරයකුට අන්‍ය-ජාතිකයකු බැහැදැක්ම හෝ සමාගම් පැවැත්වීම අප ව්‍යවස්ථාවට පටහැනි වග ඔබ හොඳින් දනී. එහෙත් කිසි මිනිසකු අකැපය, අපවිත්‍ර ය කියා මා නො කිව යුතු වග දෙවියන්වහන්සේ මට පෙන්වා දුන්නා. එබැවින් මා කැඳවා යැවූ කල, පැකිළීමක් නැතිව මා ආවා. දැන් මා ඔබෙන් අහන්නේ, මා කැඳවූ හේතුව කිමෙක් ද කියායි?” ඇසුවේ ය. කොර්නේලියස් උත්තර දෙමින්, “දවස් හතරකට කලින්, නව වන පැයේ පමණ මේ වෙලාවේ මා නිවසේ යාච්ඤා කරමින් සිටියදී, මෙන්න! එකපාරට දිළිසෙන ඇඳුමින් සැරසුණු කෙනෙක් මා ඉදිරියේ සිටගෙන! ඔහු කතා කරමින්, ‘කොර්නේලියස්, දෙවියන්වහන්සේ ඔබේ යාච්ඤා ඇසූ සේක; ඔබේ දාන ද සිහි කළ සේක. පේතෘස් නමින් හඳුන්වන සීමොන් කැඳවා යොප්පා වෙත පණිවුඩ යවන්න. මුහුද අද්දර, සම් පදම් කරන සීමොන්ගේ නිවසේ ඔහු නැවතී සිටී’ යි කීවා. එබැවින් මා නොපමාව ඔබට පණිවුඩ යැව්වා; ඔබ ආ එක කොතරම් හොඳ ද! ඉඳින් අපට පවසන්නට ස්වාමින්වහන්සේ ඔබට අණ කළ සියල්ල ඇසීමට අප හැමෝම දැන් මෙහි දෙවියන්වහන්සේ ඉදිරියේ සිටිනවා” යි කීවේ ය.