පසු දින ඔවුන් පුරවරයට ළඟා වන කල, සවැනි පැයේදී පමණ පේතෘස් යාච්ඤා කරන්නට නිවසේ පියස්සට නැගුණේ ය. ඔහුට කුස ගිනි දැනිණි. එබැවින් අහරට යමක් ඕනෑ විය. එහෙත් අහර පිළියෙල වන අතරේ ඔහු දැහැනකට වැටිණි. එවිට අහස විවර ව, විශාල රුවල් රෙද්දක් වැනි යමක් එහි සිවු කොනින් පොළොවට පහත් කරනු ඔහු දුටුවේ ය. සියලු වර්ගයේ සිවුපාවුන්, පොළොවේ උරගයින් හා අහස් පක්ෂීහු එහි වූහ. එවිට, “පේතෘස් නැගිට, මරා කන්නැ” යි කියන කටහඬක් ඔහුට ඇසිණි. පේතෘස් පිළිතුරු දෙමින්, “නෑ ස්වාමිනි! අකැප, අපවිත්‍ර කිසිවක් මා කිසි කලෙක කෑවේ නැතැ” යි කීවේ ය. එම කටහඬ දෙවන වරට ඔහු අමතමින්, “දෙවියන්වහන්සේ පවිත්‍ර කළ කිසිවක් අකැපය කියා නො කියන්නැ” යි පැවසී ය. තුන් වතාවක් ම එසේ සිදු විණි. ඉන්පසු එක්වන ම එය අහසට ඇද ගනු ලැබිණි. තමා දුටු ඒ දර්ශනයේ අරුත කිමෙක්දැයි නො වැටහී, පේතෘස් කල්පනා කරමින් සිටියදී මෙන්න! කොර්නේලියස් වෙතින් පැමිණි පණිවුඩකරුවෝ සීමොන්ගේ නිවස සොයාගෙන ගේ දොරකඩට ම අවුත්, පේතෘස් නමින් හැඳින්වෙන සීමොන් එහි නැවතී ඉන්නවාදැයි උස් හඬින් විමසූහ. පේතෘස් තමා දුටු දර්ශනය ගැන සිත සිතා සිටියදී, ආත්මයාණන්වහන්සේ ඔහුට කතා කොට, “අන්න, මිනිස්සු තුන් දෙනෙක් ඔබ සොයා ඇවිත්; නැගිට පහළට බහින්න; ඔවුන් සමඟ යෑමට නො පැකිළෙන්න; මන්ද ඔවුන් එවුවේ මම” යැයි කී සේක. එබැවින් පහළ බැස, ඒ මිනිසුන් හමුවට ආ පේතෘස්, “ඔබ සොයන තැනැත්තා මමයි. ඔබ ආ කාරණය කිමෙක් දැ?” යි ඇසී ය. ඔවුහු පිළිතුරු දෙමින්, “අප ආවේ කොර්නේලියස් නම් සියයේ සේනාංක සෙන්පති වෙතින්. ධර්මිෂ්ඨ, දේව භයින් යුතු කෙනෙක් වන ඔහු මුළු යුදෙව් ජනයාගේ ගෞරවය දිනා සිටී. ශුද්ධ දේව දූතයෙක් ඔහුට දර්ශන වී, ඔබ පවසන දෑ අසන පිණිස, ඔහුගේ නිවසට ඔබ කැඳවන ලෙස දන්වා ඇතැ” යි පැවසූහ. එවිට පේතෘස් තමාගේ අමුත්තන් වශයෙන් ඒ මිනිසුන් ගෙතුළට කැඳවී ය.
ක්‍රියා 10 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: ක්‍රියා 10:9-23
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ