ක්‍රියා 10:1-16

ක්‍රියා 10:1-16 SCV

ඉතාලි රෙජිමේන්තුව නම් ලත් හමුදා ඒකකයේ සියයේ සේනාංකයක සෙන්පති වූ කොර්නේලියස් නැමැත්තෙක් කායිසාරියේ විසී ය. ඔහු ද ඔහුගේ ගෙයි වැසි සියල්ලෝ ම ද දේව භයින් යුතු බැතිමත්හු වූහ. නැති බැරිවුනට ත්‍යාගශීලී ව උදවු කළ ඔහු නිරතුරු දෙවියන්වහන්සේට යාච්ඤා කළ කෙනෙකි. දිනක් නව වන පැයේ පමණ ඔහු දර්ශනයක් දුටුවේ ය. දෙවියන්වහන්සේගේ දූතයකු පැමිණ, “කොර්නේලියස්” යයි තමන් අමතනු ඔහු පැහැදිලි ව දැක්කේ ය. කොර්නේලියස් බියෙන් දෑස් දල්වා බලා, “කිමෙක් ද ස්වාමිනි?” යි ඇසී ය. එවිට දේව දූතයා පිළිතුරු දෙමින්, “ඔබගේ යාච්ඤා හා දාන දෙවියන්වහන්සේ ඉදිරියට සමරුවක් සේ නැගී ඇත; එබැවින් දැන් යොප්පා වෙත පණිවුඩ යවා, පේතෘස් නමින් හැඳින්වෙන සීමොන් නැමැත්තා කැඳවන්න. ඔහු මුහුද අද්දර සම් පදම් කරන සීමොන්ගේ නිවසේ නැවතී සිටිතැ” යි පැවසී ය. තමන්ට කතා කළ දේව දූතයා පිටත් ව ගිය පසු, තම සේවකයින් දෙදෙනකු ද තම උපස්ථායකු වූ භක්තිවන්ත භටයකු ද කැඳවූ කොර්නේලියස්, සිදු වූ සියලු පුවත් ඔවුනට පවසා, යොප්පා වෙත ඔවුන් පිටත් කර යැවී ය. පසු දින ඔවුන් පුරවරයට ළඟා වන කල, සවැනි පැයේදී පමණ පේතෘස් යාච්ඤා කරන්නට නිවසේ පියස්සට නැගුණේ ය. ඔහුට කුස ගිනි දැනිණි. එබැවින් අහරට යමක් ඕනෑ විය. එහෙත් අහර පිළියෙල වන අතරේ ඔහු දැහැනකට වැටිණි. එවිට අහස විවර ව, විශාල රුවල් රෙද්දක් වැනි යමක් එහි සිවු කොනින් පොළොවට පහත් කරනු ඔහු දුටුවේ ය. සියලු වර්ගයේ සිවුපාවුන්, පොළොවේ උරගයින් හා අහස් පක්ෂීහු එහි වූහ. එවිට, “පේතෘස් නැගිට, මරා කන්නැ” යි කියන කටහඬක් ඔහුට ඇසිණි. පේතෘස් පිළිතුරු දෙමින්, “නෑ ස්වාමිනි! අකැප, අපවිත්‍ර කිසිවක් මා කිසි කලෙක කෑවේ නැතැ” යි කීවේ ය. එම කටහඬ දෙවන වරට ඔහු අමතමින්, “දෙවියන්වහන්සේ පවිත්‍ර කළ කිසිවක් අකැපය කියා නො කියන්නැ” යි පැවසී ය. තුන් වතාවක් ම එසේ සිදු විණි. ඉන්පසු එක්වන ම එය අහසට ඇද ගනු ලැබිණි.