2 තිමෝති 4:11-22

2 තිමෝති 4:11-22 SCV

ලූක් පමණක් මා සමඟ ය. ඔබ සමඟ මාර්ක් කැඳවාගෙන එන්න. මගේ සේවය සඳහා ඔහු මට ප්‍රයෝජනවත් ය. තුකිකස් එපීසය වෙත යැවීමි. ත්‍රෝවසෙහි කාර්පස් වෙත මා තබා ආ කබාය හා පොත් ද විශේෂයෙන් සටහන් සහිත සම් පොත් ඔබ එද්දී ගෙන එන්න. ලෝහ ශිල්පී ඇලෙක්සැන්ඩර් මට මහත් උපද්‍රව පැමිණ වී ය. ඔහු කළ දේට ස්වාමින්වහන්සේ ඔහුට නිසි විපාක දෙනු ඇත. ඔබත්, ඔහුගෙන් පරිස්සම් වන්න. මන්ද ඔහු අපේ පණිවුඩයට දැඩි ව විරුද්ධ විය. මගේ මුල් නඩු වාරයේ කිසිවකු මා සමඟ සිටියේ නැත. සැවොම මා අතහැර ගියහ. එය ඔවුන්ට එරෙහිව ගණන් නො ගැනේවා! එහෙත් මා මගින් පණිවුඩය මුළුමනින් ප්‍රකාශ වී, සියලු අන්‍ය-ජාතිකයින් එය අසන පිණිස, ස්වාමින්වහන්සේ මා පසෙකින් සිට, මා දිරිගැන්වූ සේක. මෙසේ, සිංහ මුඛයෙන් මම ගලවනු ලැබීමි. හැම නපුරු ක්‍රියාවකින් ස්වාමින්වහන්සේ මා මුදා ගන්නා සේක්, ස්වකීය ස්වර්ග රාජ්‍යයට සුරක්ෂිත ව මා ගෙන යන සේක. උන්වහන්සේට සදහට ම, සදාතනික ව තේජෝ මහිම වේවා! ආමෙන්. ප්‍රිස්කා හා අකිලාට ද ඔනෙසිපොරස්ගේ ගෘහ වාසීන්ට ද මගේ ආචාරය දන්වන්න. එරස්තස් කොරින්තියේ නැවතුණේ ය. ත්‍රොපිමස් අසනීප වූ නිසා මිලේතසෙහි නවතා ආවෙමි. ශීත කාලයට කලින් මෙහි ඒමට උත්සාහ කරන්න. යුබුලස් ඔබට ආචාර කරයි. පුදෙන්ස්, ලීනස්, ක්ලෝදියා හා සහෝදරවරු සැවොම ඔබට ආචාර කරති. ස්වාමින්වහන්සේ ඔබගේ ආත්මය සමඟ වේවා! අනුග්‍රහය ඔබ සමඟ වේවා.

මෙයට අදාළ වීඩියෝ