2 තිමෝති 2:1-13

2 තිමෝති 2:1-13 SCV

මා දරුව, එබැවින් ඔබ, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ඇති අනුග්‍රහයේ ශක්තිමත් වන්න. බොහෝ සාක්ෂිකරුවන් ඉදිරියේ මා පවසනු ඔබ අසා ඇති දෑ, අන් අයට ද ඉගැන්වීමට සමත් විශ්වාසී මනුෂ්‍යයින් අතට පත් කරන්න. ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ හොඳ හේවායකු වශයෙන් දුක් විඳීමට පංගුකාර වන්න. තමා බඳවා ගත් නිලධාරියා සතුටු කිරීමේ අරමුණ ඇති හේවායකු, සමාජයීය කටයුතුවල පටලැවෙන්නේ නැත. තරඟ නීතිවලට අනුව තරඟ වැදුණොත් මිස, ක්‍රීඩකයකු කිරුළ දිනන්නේ නැත. අස්වැන්නේ පළමු පංගුව ලැබිය යුත්තා වෙහෙසී වැඩ කළ ගොවියා ම ය. මා කියන දේ ගැන සිතා බලන්න. මන්ද හැම දෙයක් ගැන ම අවබෝධය ස්වාමින්වහන්සේ ඔබට දෙනු ඇත. මළවුන්ගෙන් නැගිටුවනු ලැබුවා වූ ද දාවිත්ගේ පරපුරින් පැවත ආවා වූ ද යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන සිහි කරන්න. මගේ ශුභාරංචිය මෙයයි. අපරාධකරුවකු සේ යදමින් බඳිනු ලැබ, මා පීඩා විඳින්නේ ඒ උදෙසා ය; එහෙත් දෙවියන්වහන්සේගේ වචනය බඳිනු ලැබ නැත. එබැවින් තෝරා ගත්තවුන් උදෙසා මා, හැම දෙයක් දරා ගන්නේ, සදාතන තේජස සමඟ ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ඇති ගැලවීම ඔවුන් ද අත්කර ගනු පිණිස ය. මෙය විශ්වසනීය කියමනකි: උන්වහන්සේ සමඟ අපි මැරුණෙමු නම්, උන්වහන්සේ සමඟ අප ජීවත් වනු ද ඇත. අපි ඉවසන්නෙමු නම්, උන්වහන්සේ සමඟ අප රජකම් ද කරනු ඇත. අපි උන්වහන්සේ ප්‍රතික්ෂේප කරමු නම්, අප ද ප්‍රතික්ෂේප කරනු ලබනු ඇත. අප අවිශ්වාසවන්ත වුව ද, උන්වහන්සේ විශ්වාසවන්ත ව ම සිටින සේක. මන්ද තමන් ව ම ප්‍රතික්ෂේප කරන්නට උන්වහන්සේට නො හැකි ය.

මෙයට අදාළ වීඩියෝ