2 තෙසලෝනික 3:6-18

2 තෙසලෝනික 3:6-18 SCV

සහෝදරයිනි, අප ඔබට බාර දුන් ඉගැන්වීම්වලට අනුව නො පවතින, අලස-නො හික්මුණු සහෝදරයින් හැමගෙන් ඈත්වන මෙන් යේසුස් ක්‍රිස්තුස් ස්වාමින්වහන්සේගේ නාමයෙන් අපි ඔබට අණ කරන්නෙමු. ඔබ අපගේ ආදර්ශය අනුගමන කළ යුත්තේ කෙසේදැයි ඔබ හොඳින් දන්නහු ය. ඔබ හා සිටියදී අප අලස ව සිටියේ නැත. නොමිලයේ අනෙකකුගෙන් අහර ගත්තේ ද නැත. අනෙක් අතට, ඔබ කිසිවකුටත් අප බරක් නො වන පිණිස දිවා රෑ දෙක්හි වෙහෙස ව, මහන්සි ව වැඩ කළෙමු. එසේ කළේ, එවන් උදවු ලැබීමේ අයිතිය අපට නො තිබූ නිසා නො ව ඔබට අනුගමන කිරීමට අප ම ආදර්ශයක් වන පිණිස ය. මන්ද: “වැඩ කරන්නට අකැමැත්තෝ අහර අනුභව නො කරත්වා!” යන නියෝගයක් ද අපි ඔබ හා සිටියදී දුන්නෙමු. ඔබ අතරේ ඇතමුන් අලස ව නො හික්මුණු අයුරින් හැසිරෙන වග අපට අසන්නට ලැබේ. ඔවුහු කිසි වැඩක නො යෙදෙති; අනුන්ගේ වැඩට ඇඟිලි ගසති. සන්සුන් ලෙස කිසියම් වැඩක යෙදී තම ජීවිකාව සඳහා තමන් ම උපයා ගන්නා ලෙස, යේසුස් ක්‍රිස්තුස් ස්වාමින්වහන්සේ තුළ අපි එවැන්නන්ට අණ කරමින් ධෛර්යය දෙන්නෙමු. සහෝදරවරුනි, යහපත් දේ කිරීමෙහි කිසි විටෙක පසුබට නො වන්න. මෙම ලිපියෙන් අප දෙන උපදෙස්වලට යමකු කීකරු වන්නේ නැති නම්, එවන් තැනැත්තේ හඳුනාගෙන, ඔහු ලජ්ජාවට පත් වන පිණිස, ඔහු හා ඇසුරින් ඈත් වන්න. එහෙත් ඔහු සතුරකු සේ නො සලකන්න. සහෝදරයකු සේ ඔහුට අවවාද කරන්න. සාමයේ ස්වාමින්වහන්සේ ම හැම කල, හැම අයුරු ඔබට සාමය සලසන සේක්වා! ස්වාමින්වහන්සේ ඔබ සියල්ලන් සමඟ වන සේක්වා! පාවුල් වන මම මගේ ම අත් අකුරින් මෙසේ ඔබට ආචාර කරමි. මගේ හැම ලිපියක ම විශේෂ ලක්ෂණය මෙයයි; ඒ මා ලියන හැටියි. යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේගේ අනුග්‍රහය ඔබ හැම සමඟින් වේවා!

2 තෙසලෝනික 3:6-18 සඳහා වීඩියෝව

2 තෙසලෝනික 3:6-18 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය