2 තෙසලෝනික 2:1-12

2 තෙසලෝනික 2:1-12 SCV

යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේගේ ආගමනයත්, උන්වහන්සේ වෙතට අප එක් රැස් කරවීමත් පිළිබඳව සහෝදරයිනි, අපි ඔබෙන් ඉල්ලා සිටින්නේ, ස්වාමින්වහන්සේගේ දවස දැනට ම පැමිණ ඇතැයි දන්වමින්, යම් දිවැසි වැකියකින්, යම් පණිවුඩයකින් හෝ අප වෙතින් ආවේ යැයි කියන යම් ලිපියකින් හෝ වහා සසල නො වන ලෙසත්, තැති නො ගන්නා ලෙසත් ය. කිසි ලෙසකින් ඔබ රවටන්නට කිසිවකුට ඉඩ නො දෙන්න. පළමු ව මහා විරෝධයත්, නොපනත්කමේ මිනිසා හෙවත් විනාශයේ පුත්‍රයා ප්‍රකාශ වීමත් සිදුවන තුරු, ඒ දවස පැමිණෙන්නේ නැත. දෙවියන් යයි කියනු ලබන හැමට හා නමස්කාර කරනු ලබන හැම දේට එරෙහිව ඔහු තමා ම උසස් කර ගනිමින්, දෙවියන්වහන්සේගේ මාලිගයේ අසුන් ගන්නේ තමා දෙවියන් යයි කියා පාමිනි. මා ඔබ සමඟ සිටියදී මේ කරුණු මා ඔබට කී වග අමතක ද? නිසි කල්හි ඔහු එළිදරවු කරනු ලබන පිණිස දැන් ඔහු වළක්වාගෙන සිටින්නේ කිමෙක්දැයි ඔබ දනිති. මන්ද නොපනත්කමේ අබිරහස් බලය දැනට ම ක්‍රියාත්මක ය; එහෙත් දැනට එය වළක්වාගෙන සිටින තැනැත්තාණන් ඉවත ගෙන යන තෙක් දිගට ම එසේ කරනු ඇත. නොපනත්කමේ මිනිසා එළිදරවු කරනු ලබන්නේ ඉන්පසුව ය; යේසුස් ස්වාමින්වහන්සේ සිය මුවෙහි හුස්මෙන් ඔහු නසා හෙළා, ස්වකීය ආගමනයේ තේජසින් ඔහු වනසනු ඇත. නොපනත්කාමියාගේ පැමිණීම, සාතන්ගේ ක්‍රියාකාරී බලයට අනුව සියලු විධ කූට හාස්කම්, අනුහස් ලකුණු හා අරුම පුදුම මගින් දැක් වේ. හැම අයුරක දුෂ්ටකම් මගින් ඔහු විනාශවන්නන් මුළා කරනු ඇත. එසේ විනාශ වන්නේ සත්‍යයට ප්‍රේම කිරීම ප්‍රතික්ෂේප කිරීමෙන් ඔවුන් ගැලවීම නො ලද බැවිනි. ඒ හේතුව නිසා දෙවියන්වහන්සේ බලගතු මුළාවක් ඔවුන් වෙත එවන්නේ, ඔවුන් මුසාව විශ්වාස කරන පිණිසත්, සත්‍යය විශ්වාස නො කොට අධර්මිෂ්ඨකම තුළ සතුටු වූ සියල්ලන් දඬුවමට පත් කරන පිණිසත් ය.

2 තෙසලෝනික 2:1-12 සඳහා වීඩියෝව

2 තෙසලෝනික 2:1-12 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය