2 සාමුවෙල් 3:22-39
2 සාමුවෙල් 3:22-39 SCV
එවිට ම වාගේ, දාවිත්ගේ සේවකයින් සමඟ යෝවාබ් ආක්‍රමණයකින් පසු ආපසු ආවේ, මහත් කොල්ලයක් ද රැගෙන ය. එහෙත් අබ්නේර් ඒ වන විට හෙබ්‍රොන්හි දාවිත් සමඟ නො වී ය. මන්ද දාවිත් ඔහු පිටත් කර යවා තිබූ බැවින් ඔහු සාමයෙන් පිටත් ව ගොස් තිබිණි. යෝවාබ් ද ඔහු සමඟ වූ මුළු හේවායින් ද පැමිණි කල, “නේර්ගේ පුත් අබ්නේර් රජු හමුවට පැමිණියා. රජු ඔහු පිටත් කර යැවුවා. ඔහු සාමයෙන් පිටත් ව ගියා” යි යෝවාබ්ට දන්වන ලදී. එවිට යෝවාබ්, රජු වෙත ගොස්, “මොකක් ද ඔබ මේ කළේ? බලන්න! අබ්නේර් ඔබ ළඟට ම ආවා. ඔහුට යන්නට දුන්නේ ඇයි? දැන් ඔහු ගිහිල්ලා ඉවරයි. ඔබ දන්නවා නේර්ගේ පුත් අබ්නේර් ඔබ වෙත ආවේ ඔබ මුළා කරන්නටයි. ඔබේ යාම් හා ඔබේ ඊම් ගැනත්, ඔබ කරන කටයුතු හැම දෑ ගැනත් සොයා බලන්නට” යැයි කීවේ ය. යෝවාබ් ඉන්පසු දාවිත් වෙතින් පිටතට අවුත්, අබ්නේර් පසුපසින් පණිවුඩකරුවන් යැවී ය. ඔවුහු සිරා ජලාශය වෙතින් ඔහු ආපසු කැඳවාගෙන ආහ. එහෙත් දාවිත් ඒ වග නො දත්තේ ය. අබ්නේර් හෙබ්‍රොන් වෙත පෙරළා පැමිණි කල, ඔහු හා රහස් කතාවක් ඇති සේ අඟවා, යෝවාබ් දොරටුවෙන් පසෙකට ඔහු කැඳවාගෙන ගියේ ය. එහිදී යෝවාබ් තම සහෝදර අසාහෙල්ගේ ලේවල පළිය ගනිමින්, ඔහුගේ බඩට ඇන්නේ ය. එයින් ඔහු මළේ ය. පසුව මේ වග සැල වූ කල දාවිත්, “නේර්ගේ පුත් අබ්නේර්ගේ ලේ ගැන මාත්, මගේ රාජ්‍යයත් ස්වාමින්වහන්සේ ඉදිරියේ සදහට නිදොස් ය. ඔහුගේ ලේ යෝවාබ්ගේ හිස පිටත්, ඔහුගේ පියවංශයේ සියල්ලන් පිටත් වේවා! යෝවාබ්ගේ වංශය කිසි කලෙකත් යම් මෝචන රෝගයක් ඇත්තකු හෝ කුෂ්ඨ රෝගියකු හෝ කිහිලිකරු වාරුවෙන් යන්නකු හෝ කඩුවෙන් මැරුම්කන්නකු හෝ ආහාර අහේනි ඇත්තකු හෝ යන අය රහිත නො වේවා!” යි කී ය. යෝවාබ් හා ඔහුගේ සහෝදර අබිෂයි, අබ්නේර් මරා දැමුවේ, ගිබෙයොන් සටනේදී අබ්නේර් ඔවුන්ගේ සහෝදර අසාහෙල් මරා දැමූ බැවිනි. එනමුත් දාවිත් ඉන්පසු යෝවාබ්ට හා ඔහු සමඟ වූ මුළු ජනතාවට කතා කොට, “නුඹලා හැඳිවත් ඉරාගෙන, ගෝණි රෙදි ඇඟ ලා, අබ්නේර්ට පෙරටුවෙන් ශෝකවෙමින් ගමන් කරනු” යි කීවේ ය. දාවිත් රජු ද දෙණ පසුපසින් ගමන් කළේ ය. ඔවුහු හෙබ්‍රොන්හි දී අබ්නේර් භූමදාන කළහ. අබ්නේර්ගේ සොහොන මත්තේ රජු උස් හඬ නගා හැඬී ය. මුළු ජනතාව ද හැඬූහ. රජු, අබ්නේර් වෙනුවෙන් මෙම විලාප ගීය ගැයුවේ ය. “අබ්නේර් අඥානයකු සේ මියැදීම යුතු ද? ඔබගේ අත් නො බැඳිණි. ඔබගේ පා විලංගු නො දැමිණ. ඔබ වැටී ගියේ දුෂ්ට මිනිසුන් අබියස වැටෙන්නකු සේ ය.” ජනයා සියල්ලෝ ඔහු ගැන යළිත් වැලපෙන්නට වන්හ. ඉන්පසු සැවොම අවුත්, යමක් අහරට ගන්නා ලෙස දහවලේදී දාවිත්ට පෙරැත්ත කළෝ ය. එහෙත් දාවිත් දිවුරමින්, “හිරු බැස යෑමට පෙර මා කිසිවක් හෝ මුවට ගතහොත්, දෙවියන්වහන්සේ ඉතා දැඩි ලෙස මා ගැන ක්‍රියා කරන සේක්වා” යි කීවේ ය. මුළු මහත් ජනයා එය සැලකිල්ලට ගෙන ප්‍රසාදයට පත් වූහ. රජු කළ හැම දෙයක් ම ජනතා ප්‍රසාදයට පාත්‍ර විය. නේර්ගේ පුත්‍ර අබ්නේර් ඝාතනයට රජුගේ සබඳතාවක් නො වූ වග එදින මුළු ජනතාවත්, ඉශ්‍රායෙල් මුළු වංශයත් දැන ගත්හ. ඉන්පසු දාවිත් තමාගේ මිනිසුන් අමතා, “මේ දවසේ ඉශ්‍රායෙල්හි අධිපතියකු වූ මහා පුරුෂයකු වැටී ගිය වග ඔබට නො වැටහේ ද? අද දවසේ අභිෂේක ලද රජු මා වූවත්, මා මෘදු කෙනෙක්. සෙරූයාගේ මේ පුතුන් මට ඉතා තද වැඩියි. දුෂ්ටකම් කරන්නාට ඔහුගේ ම දුෂ්ටකම්වලට අනුකූලව ස්වාමින්වහන්සේ ප්‍රතිවිපාක දෙන සේක්වා” යි කීවේ ය.

