සාවුල්ගේ වංශය හා දාවිත්ගේ වංශය අතරේ දිගු සංග්‍රාමයක් පැවතිණ. දාවිත් වඩ වඩා බලවත් විය. එහෙත් සාවුල්ගේ වංශය වඩ වඩා බෙලහීන වන්නට විය.
හෙබ්‍රොන්හි දී දාවිත්ට පුත්තු උපන්හ.
ඔහුගේ කුලුඳුලා අම්නෝන් ය. ඒ යෙස්රෙයෙලීය අහිනොවම් බිහි කළ පුත්‍රයා ය.
කිලෙයාබ් දෙවැන්නා ය. ඔහු කර්මෙලීය නාබාල්ගේ වැන්දඹුව වූ අබිගායිල් බිහි කළ පුත්‍රයා ය.
අබ්සලොම් තෙවැන්නා ය. ය. ඔහු ගෙෂූර්හි රජු වූ තල්මයිගේ දියණිය වූ මයකා බිහි කළ පුත්‍රයා ය.
අදොනීයා සිවුවැන්නා ය. ඔහු හග්ගීත් බිහි කළ පුත්‍රයා ය.
ෂෙෆටියා පස්වැන්නා ය. ඔහු අබිටාල් බිහි කළ පුත්‍රයා ය.
දාවිත්ගේ බිරිඳ වූ එග්ලා බිහි කළ ඉත්රෙයාම් සවැන්නා ය.
හෙබ්‍රොන්හි දී දාවිත්ට උපන් පුත්තු ඔවුහු ය.
සාවුල්ගේ වංශය හා දාවිත්ගේ වංශය අතර සංග්රාම පවතිද්දී අබ්නේර්, සාවුල්ගේ වංශය අතරේ තමාගේ බලය තහවුරු කර ගෙන තිබිණි. අයාගේ දියණියක වූ රිස්පා නමැත්තිය එකල සාවුල්ගේ අතිරේක බිරිඳක ව සිටියා ය. ඊෂ්-බොෂෙත්, අබ්නේර්ට කතා කොට, “ඇයි නුඹ මගේ පියාගේ අතිරේක බිරිඳ වෙත ගියේ?” යි ඇසී ය.
ඊෂ්-බොෂෙත් කී වචනවලින් අබ්නේර් දැඩි සේ කිපුණේ ය. ඔහු පිළිතුරු දෙමින්, “යූදාගේ පාර්ශ්වේ බලු හිසක් ද මං? මේ අද දවසේත් මං ඔබේ පියා වූ සාවුල්ටත්, ඔහුගේ පවුලට හා ඔහුගේ මිතුරන්ටත් පක්ෂපාතීවයි සිටියේ. මං දාවිත්ගේ අත්වලට ඔබ පාවා දුන්නේ නෑ. නුඹ, දැන් මේ ස්ත්‍රිය සම්බන්ධ වරදකට චෝදනා කරන්නේ, එසේ කළ මටයි! ස්වාමින්වහන්සේ දිවුරුමකින් පොරොන්දු වූ ලෙස දාවිත් උදෙසා මා ක්‍රියා නො කළහොත්, දෙවියන්වහන්සේ ඉතා දැඩි ලෙස අබ්නේර්ට එරෙහි වන සේක්වා. එනම්, රාජ්‍යය සාවුල්ගේ වංශය වෙතින් මාරු වී, දාන් පටන් බෙයර්ෂෙබා දක්වා ඉශ්රායෙලය කෙරෙහි හා යූදා කෙරෙහි දාවිත්ගේ සිංහාසනය ස්ථාපනය කිරීම යැ” යි පැවසී ය. අබ්නේර්ට එක් වචනයකින් හෝ ඔහුට උත්තර දීමට ඊෂ්-බොෂෙත්ට දිරියක් නො වී ය. මන්ද ඔහු ඔහුට බය වූ බැවිනි.
ඉන්පසු අබ්නේර් තමන් උදෙසා දාවිත් වෙත පණිවුඩකරුවන් යවමින්, “මේ දේශය කාගේ ද? මා හා ගිවිසුමකට එන්න. ඔන්න! මුළු ඉශ්රායෙල් ඔබ යටතට ගෙනෙන්නට මම ඔබට උපකාර කරන්නෙමි” යි දැන්වී ය.
දාවිත් පිළිතුරු දෙමින්, “අගෙයි. මා ඔබ සමඟ ගිවිසුමකට එන්නම්. හැබැයි එක් කොන්දේසියක් මතයි. නුඹ මා හමුවට එන කල, සාවුල්ගේ දියණිය වූ මීකල් නුඹ සමඟ කැඳවාගෙන මිස, නුඹ මගේ මුහුණ දකින්නට නො ආ යුතු යැ” යි කීවේ ය. ඉන්පසු දාවිත්, සාවුල්ගේ පුත් ඊෂ්-බොෂෙත් වෙත පණිවුඩකරුවන් යවමින්, “පිලිස්තීන් සිය දෙනකුගේ චර්මාග්රවලින් මිල ගෙවූ මගේ බිරිඳ මීකල් මට දෙනු” යි දැන්වී ය.
එබැවින් ඊෂ්-බොෂෙත් නියෝග කළෙන්, ඇගේ සැමියා වූ ලායිෂ්ගේ පුත්‍ර පල්ටියෙල් වෙතින් ඇය ඉවත් කර ගන්නා ලදී. එහෙත් ඇගේ සැමියා වැලපෙමින් ඇය පසු පස්සේ බහූරීම් දක්වා ම ඇය සමඟ ගියේ ය. එහිදී අබ්නේර් ඔහු අමතා, “ආපසු ගෙදර යනු” යි කීවේ ය. එබැවින් ඔහු ආපසු ගියේ ය.
අබ්නේර් ඉශ්රායෙල් ප්‍රජා වැඩිහිටියන් සමඟ සාකච්ඡා කරමින්, “දාවිත් නුඹලාගේ රජු කර ගැනීමට කලකට පෙර නුඹලා උනන්දු වුණා. දැන් එසේ කරන්න. මන්ද ස්වාමින්වහන්සේ දාවිත්ට කතා කරමින්, ‘මගේ සේවක දාවිත් ලවා, මම මගේ ජනතාව වන ඉශ්රායෙල්වරුන්, පිලිස්තිවරුන්ගේ අතින් ද ඔවුන්ගේ සියලු සතුරන්ගේ අතින් ද ගලවන්නෙමි’ යි පවසා ඇතැ” යි කීවේ ය.
අබ්නේර්, බෙන්යමින්වරුන්ට ද කෙළින් ම කතා කළේ ය. ඉන්පසු ඔහු හෙබ්‍රොන් වෙත ගියේ, ඉශ්රායෙල්වරුන් හා මුළු බෙන්යමින් වංශය කරන්නට යන යහපතැයි සිතන දෑ දාවිත්ට දන්වන පිණිස ය. අබ්නේර්, තමා සමඟ මිනිසුන් විසිදෙනකු කැටිව, හෙබ්‍රොන්හි දාවිත් වෙත පැමිණි කල, දාවිත්, අබ්නේර්ට හා ඔහුගේ මිනිසුන්ට භෝජන සංග්‍රහයක් පැවැත්වී ය. අබ්නේර් ඉන්පසු දාවිත් අමතමින්, “වහා පිටත් ව ගොස්, මුළු ඉශ්රායෙල් ජනයා මගේ ස්වාමින් වෙත රැස් කරවන්නට මට ඉඩ දෙන්න. එසේ කරන්නේ, ඔවුන් ඔබතුමා සමඟ ගිවිසුමක් කරන පිණිසත්, ඔබේ හදවත රිසි පරිදි ඔබ ඒ සියල්ලන්ට ම රජකම් කරන පිණිසත් යැ” යි පැවසී ය. දාවිත් එබැවින් අබ්නේර් පිටත් කර යැවී ය. ඔහු සාමයෙන් පිටත් ව ගියේ ය.
එවිට ම වාගේ, දාවිත්ගේ සේවකයින් සමඟ යෝවාබ් ආක්‍රමණයකින් පසු ආපසු ආවේ, මහත් කොල්ලයක් ද රැගෙන ය. එහෙත් අබ්නේර් ඒ වන විට හෙබ්‍රොන්හි දාවිත් සමඟ නො වී ය. මන්ද දාවිත් ඔහු පිටත් කර යවා තිබූ බැවින් ඔහු සාමයෙන් පිටත් ව ගොස් තිබිණි. යෝවාබ් ද ඔහු සමඟ වූ මුළු හේවායින් ද පැමිණි කල, “නේර්ගේ පුත් අබ්නේර් රජු හමුවට පැමිණියා. රජු ඔහු පිටත් කර යැවුවා. ඔහු සාමයෙන් පිටත් ව ගියා” යි යෝවාබ්ට දන්වන ලදී.
එවිට යෝවාබ්, රජු වෙත ගොස්, “මොකක් ද ඔබ මේ කළේ? බලන්න! අබ්නේර් ඔබ ළඟට ම ආවා. ඔහුට යන්නට දුන්නේ ඇයි? දැන් ඔහු ගිහිල්ලා ඉවරයි. ඔබ දන්නවා නේර්ගේ පුත් අබ්නේර් ඔබ වෙත ආවේ ඔබ මුළා කරන්නටයි. ඔබේ යාම් හා ඔබේ ඊම් ගැනත්, ඔබ කරන කටයුතු හැම දෑ ගැනත් සොයා බලන්නට” යැයි කීවේ ය.
යෝවාබ් ඉන්පසු දාවිත් වෙතින් පිටතට අවුත්, අබ්නේර් පසුපසින් පණිවුඩකරුවන් යැවී ය. ඔවුහු සිරා ජලාශය වෙතින් ඔහු ආපසු කැඳවාගෙන ආහ. එහෙත් දාවිත් ඒ වග නො දත්තේ ය. අබ්නේර් හෙබ්‍රොන් වෙත පෙරළා පැමිණි කල, ඔහු හා රහස් කතාවක් ඇති සේ අඟවා, යෝවාබ් දොරටුවෙන් පසෙකට ඔහු කැඳවාගෙන ගියේ ය. එහිදී යෝවාබ් තම සහෝදර අසාහෙල්ගේ ලේවල පළිය ගනිමින්, ඔහුගේ බඩට ඇන්නේ ය. එයින් ඔහු මළේ ය.
පසුව මේ වග සැල වූ කල දාවිත්, “නේර්ගේ පුත් අබ්නේර්ගේ ලේ ගැන මාත්, මගේ රාජ්‍යයත් ස්වාමින්වහන්සේ ඉදිරියේ සදහට නිදොස් ය. ඔහුගේ ලේ යෝවාබ්ගේ හිස පිටත්, ඔහුගේ පියවංශයේ සියල්ලන් පිටත් වේවා! යෝවාබ්ගේ වංශය කිසි කලෙකත් යම් මෝචන රෝගයක් ඇත්තකු හෝ කුෂ්ඨ රෝගියකු හෝ කිහිලිකරු වාරුවෙන් යන්නකු හෝ කඩුවෙන් මැරුම්කන්නකු හෝ ආහාර අහේනි ඇත්තකු හෝ යන අය රහිත නො වේවා!” යි කී ය.
යෝවාබ් හා ඔහුගේ සහෝදර අබිෂයි, අබ්නේර් මරා දැමුවේ, ගිබෙයොන් සටනේදී අබ්නේර් ඔවුන්ගේ සහෝදර අසාහෙල් මරා දැමූ බැවිනි.
එනමුත් දාවිත් ඉන්පසු යෝවාබ්ට හා ඔහු සමඟ වූ මුළු ජනතාවට කතා කොට, “නුඹලා හැඳිවත් ඉරාගෙන, ගෝණි රෙදි ඇඟ ලා, අබ්නේර්ට පෙරටුවෙන් ශෝකවෙමින් ගමන් කරනු” යි කීවේ ය. දාවිත් රජු ද දෙණ පසුපසින් ගමන් කළේ ය. ඔවුහු හෙබ්‍රොන්හි දී අබ්නේර් භූමදාන කළහ. අබ්නේර්ගේ සොහොන මත්තේ රජු උස් හඬ නගා හැඬී ය. මුළු ජනතාව ද හැඬූහ.
රජු, අබ්නේර් වෙනුවෙන් මෙම විලාප ගීය ගැයුවේ ය.
“අබ්නේර් අඥානයකු සේ මියැදීම යුතු ද?
ඔබගේ අත් නො බැඳිණි.
ඔබගේ පා විලංගු නො දැමිණ.
ඔබ වැටී ගියේ දුෂ්ට මිනිසුන් අබියස වැටෙන්නකු සේ ය.”
ජනයා සියල්ලෝ ඔහු ගැන යළිත් වැලපෙන්නට වන්හ.
ඉන්පසු සැවොම අවුත්, යමක් අහරට ගන්නා ලෙස දහවලේදී දාවිත්ට පෙරැත්ත කළෝ ය. එහෙත් දාවිත් දිවුරමින්, “හිරු බැස යෑමට පෙර මා කිසිවක් හෝ මුවට ගතහොත්, දෙවියන්වහන්සේ ඉතා දැඩි ලෙස මා ගැන ක්‍රියා කරන සේක්වා” යි කීවේ ය.
මුළු මහත් ජනයා එය සැලකිල්ලට ගෙන ප්‍රසාදයට පත් වූහ. රජු කළ හැම දෙයක් ම ජනතා ප්‍රසාදයට පාත්‍ර විය. නේර්ගේ පුත්‍ර අබ්නේර් ඝාතනයට රජුගේ සබඳතාවක් නො වූ වග එදින මුළු ජනතාවත්, ඉශ්රායෙල් මුළු වංශයත් දැන ගත්හ.
ඉන්පසු දාවිත් තමාගේ මිනිසුන් අමතා, “මේ දවසේ ඉශ්රායෙල්හි අධිපතියකු වූ මහා පුරුෂයකු වැටී ගිය වග ඔබට නො වැටහේ ද? අද දවසේ අභිෂේක ලද රජු මා වූවත්, මා මෘදු කෙනෙක්. සෙරූයාගේ මේ පුතුන් මට ඉතා තද වැඩියි. දුෂ්ටකම් කරන්නාට ඔහුගේ ම දුෂ්ටකම්වලට අනුකූලව ස්වාමින්වහන්සේ ප්‍රතිවිපාක දෙන සේක්වා” යි කීවේ ය.