2 සාමුවෙල් 16:5-14

2 සාමුවෙල් 16:5-14 SCV

දාවිත් රජු බහූරීම් වෙත ළඟා වෙද්දී සාවුල්ගේ වංශයේ එම පෙළපතට ම අයත්, ගේරාගේ පුත්‍ර ෂිමෙයි නම් මනුෂ්‍යයෙක් නො නැවතී ශාප කරමින් පැමිණියේ ය. ඔහු දාවිත්ට හා දාවිත් රජුගේ සියලු සේවකයින්ට ගල් දමා ගැසී ය. ජනයා සියල්ලෝ ද වීර සෙබළුන් ද ඔහුගේ දකුණු පසින් හා වම් පසින් වූහ. ෂිමෙයි ශාප කරමින්, “පිට වී යනු. පිට වී යනු මිනී මරුවා; තක්කඩියා. නුඹ වැගුරූ සාවුල් වංශයේ සියල්ලන්ගේ ලේ ගැන, ඔහුගේ රජකම පවරා ගත් නුඹෙන් ස්වාමින්වහන්සේ පළිය අරගෙන; ස්වාමින්වහන්සේ රාජ්‍යය නුඹේ පුත්‍ර අබ්සලොම්ට පවරා දීලා; ඔන්න විපත්තිය නුඹ පිටට පැමිණිලා. මන්ද නුඹ ලේ තවරාගත් මිනිසකු බැවිනි” යි කීවේ ය. එවිට සෙරූයාගේ පුත් අබිෂයි, රජුට කතා කොට, “මේ මළ බල්ලා මගේ ස්වාමි වූ රජ්ජුරුවන්ට ශාප කරන්නේ මොකද? ගොස්, ඔහුගේ හිස ගසා දමන්නට මට අවසර” යි කීවේ ය. එහෙත් රජු, “සෙරූයාගේ පුත්‍රයිනි, මට නුඹෙන් ඇති කාරිය කිම ද? ඔහු ශාප කරන්නේ, ‘දාවිත්ට ශාප කරනු’ යි ස්වාමින්වහන්සේ ඔහුට කියා ඇති නිසා නම්, ‘ඔබ මෙසේ කළේ ඇයි ද?’ කියා ප්‍රශ්න කළ හැක්කේ කවරකුට දැ?” යි කීවේ ය. දාවිත් ඉන්පසු අබිෂයි හා තමාගේ සියලු නිලධාරීන් අමතමින්, “බලන්න! මට දාව උපන් මගේ ම පුත්‍රයා මගේ ජීවිතය නසන්නට සොයනවා නම්, මේ බෙන්යමිනුවා ඊට කොපමණ වැඩියෙන් නො කරයි ද? ඔහු ඔහේ උන්නාවේ; ශාප කළා වේ! එසේ කරන්නට ස්වාමින්වහන්සේ ඔහුට කියා ඇත. ස්වාමින්වහන්සේ මගේ මේ දුක දැක, අද මා ලබන මේ ශාපය වෙනුවට ඇතැම් විට මට යහපත සලසනු ඇතැ” යි පැවසී ය. මෙසේ දාවිත් හා ඔහුගේ පිරිස මාවතේ දිගට ම ගමන් ගනිද්දී, ෂිමෙයි ඔවුන්ට සමාන්තර ව කන්ද ඔස්සේ ගියේ දාවිත්ට ශාප කරමිනි; ගල් ගසමිනි; දූලි දමා ගසමිනි. රජු හා ඔහු සමඟ වූ සියලු ජනයා විඩාබර ව ගමනාන්තයට ළඟා වූහ. ඔහු එහි නැවතී විඩා නිවාගෙන, ප්‍රබෝධවත් විය.

මෙයට අදාළ වීඩියෝ

2 සාමුවෙල් 16:5-14 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය