2 සාමුවෙල් 15:1-17

2 සාමුවෙල් 15:1-17 SCV

මෙයින් පසු අබ්සලොම් අශ්ව රථයක් ද අශ්වයින් ද තමාට පෙරටුවෙන් දුවන්නට මිනිසුන් පනස්දෙනකු ද සපයා ගත්තේ ය. වේලාසනින් අවදි වන අබ්සලොම්, පුර දොරටුව දිවෙන මාවත පසෙකින් සිටගන්නේ ය. යම් කෙනකු තීන්දුවක් පතා රජු ඉදිරියට යම් පැමිණිල්ලක් ගෙන යන කල, අබ්සලොම් ඔහුට අඬගසා, “මේ, ඔබ කවර නගරයෙන් දැ?” යි අසයි. “ඔබගේ සේවකයා ඉශ්‍රායෙල් ගෝත්‍ර වංශ එකකිනි” යි පිළිතුරු ලැබුණු කල, අබ්සලොම් ඔහු අමතමින්, “බලන්න, ඔබේ ඉල්ලීම යුක්ති සහගතයි. නිවැරදියි. එහෙත් ඔබට සවන් දෙන්නට රජු නියෝජිතයකු පත් කර නැතැ” යි කියයි. අබ්සලොම් වැඩිදුරටත් කතා කරමින්, “දේශයේ විනිශ්වයකරු වශයෙන් මා පත් කරනු ලැබුවොත්! එසේ නම් පැමිණිල්ලක් හෝ නඩු හබයක් මා ළඟට ආ කල, මා ඔහුට යුක්තිය ඉටු කර දෙනවා” යි කියන්නේ ය. තවද යමකු ඔහුට වැඳ ආචාර කරන්නට ළං වුවහොත් අබ්සලොම් අත දිගු කොට, ඔහු වැලඳ, සිප ගන්නේ ය. විනිශ්චය සඳහා රජු වෙත යන සියලු ඉශ්‍රායෙල්වරුන් හමුවේ අබ්සලොම්ගේ ක්‍රියා කලාපය එසේ විය. මෙසේ ඔහු ඉශ්‍රායෙල් ජනයාගේ හදවත් සොරා ගත්තේ ය. හතර අවුරුද්ද අවසානයේදී අබ්සලොම්, රජු අමතමින්, “හෙබ්‍රොන් වෙත ගොස්, ස්වාමින්වහන්සේට මා වූ බාරය ඉෂ්ට කරන්නට මට අවසර දෙන්න. ඔබගේ සේවක මා අරාම්හි ගෙෂූර්වල වෙසෙද්දී, ‘ස්වාමින්වහන්සේ ආපසු මා යෙරුසලමට ගෙන ගියහොත්, මම ස්වාමින්වහන්සේට නමස්කාර කරන්නෙමි’ යි බාරයක් වුණා” යි කීවේ ය. “සාමයෙන් යන්නැ” යි රජු ඔහුට කීවේ ය. එවිට ඔහු නැගිට, හෙබ්‍රොන් බලා ගියේ ය. එහෙත් අබ්සලොම් ඉශ්‍රායෙල් ගෝත්‍ර වංශ මුළුල්ලේ රහස් පණිවුඩකරුවන් යවමින්, “හොරණෑ නාදය ඔබට ඇසුණු විගස, ‘අබ්සලොම් හෙබ්‍රොන්හි රජ්ජුරුවෝ ය’ කියා කියන්නැ” යි දන්වා යැවී ය. මිනිසුන් දෙසිය දෙනෙක් යෙරුසලමේ සිට අබ්සලොම් සමඟ එහි ගොස් සිටියහ. ආරාධිත අමුත්තන් සේ ඔවුන් එහි ගොස් සිටියේ, මේ කිසිවක් නො දැන, නිදොස් සිතිනි. අබ්සලොම් යාග පූජා ඔප්පු කරමින්, දාවිත්ගේ පුරෝහිත ගීලොනීය අහිතොෆෙල් ද ඔහුගේ ගම වන ගිලෝහි සිට ගෙන්වා ගත්තේ ය. මෙසේ කුමන්ත්‍රණය බලයෙන් වැඩිණි. අබ්සලොම් අනුව එන්නන්ගේ ගණන ද ක්‍රමයෙන් වැඩිවෙමින් තිබිණ. මේ අතර පණිවුඩකරුවෙක් දාවිත් වෙත අවුත්, “ඉශ්‍රායෙල් ජනයාගේ හදවත් අබ්සලොම් සමඟ යැ” යි කීවේ ය. එවිට දාවිත් තමා සමඟ යෙරුසලමේ සිටි තම සේවක නිලධාරීන් අමතා, “යමු, අප පලා යා යුතුයි. නැතහොත් අප කිසිවකුටත් අබ්සලොම්ගෙන් ගැලවීමක් නැතිව යාවි. අප වහාම පිටත් විය යුතුයි. නැතහොත් ඔහු වහ වහා අවුත්, අප අල්ලා අප පිට විපත්තිය පමුණුවනු ඇති. මේ පුරවරය ම කඩු ගා දමනු ඇතැ” යි කීවේ ය. රාජ සේවකයෝ පිළිතුරු දෙමින්, “අපගේ ස්වාමියා වන රජ්ජුරුවන් තීරණය කරන කවර දෙයක් වුව කරන්නට ඔන්න ඔබගේ සේවකයින් සූදානම්” යි කීහ. මෙසේ රජු පිටත් ව ගියේ ය. ඔහුගේ ගෘහවාසී සියල්ලෝ ඔහු අනුව ගියෝ ය. එහෙත් රජ මැදුර බලාගන්නා පිණිස ඔහු අතිරේක භාර්යාවන් දස දෙනකු නවතා ගියේ ය. මෙසේ රජු හා ඔහු සමඟින් ඔහු පසු පස ගිය මුළු ජනයා පිටත් ව ගොස්, බෙත්-මෙර්හාක්හි නැවතුණහ.