2 සාමුවෙල් 14:15-23

2 සාමුවෙල් 14:15-23 SCV

“මගේ ස්වාමි රජ්ජුරුවන්ට මේ දෑ කීමට මා පැමිණියේ ජනයා මා බියගැන් වූ නිසයි. රජ්ජුරුවන්ට කතා කරන්නෙමැයි ඔබේ සේවිකාව සිතුවේ, ‘ඇතැම් විට රජ්ජුරුවන් තම සේවිකාව කියන්නක් කරාවි; දෙවියන්වහන්සේ අපට දුන් උරුමයෙන් මා හා මගේ පුත්‍රයා සිඳ දමන්නට යන මිනිසා අතින් තම සේවිකාව මුදා ගන්නට ඇතැම් විට රජ්ජුරුවන් එකඟ වේවි’ කියායි. “දැන් ඔබේ සේවිකාව කියන්නේ, ‘මගේ ස්වාමියා වන රජ්ජුරුවන්ගේ වචනයෙන් මට සහනය ලැබේවා කියායි. මන්ද මගේ ස්වාමියා වන රජ්ජුරුවන් හොඳ හා නපුර වටහා ගැන්මේදී දෙවියන්වහන්සේගේ දූතයකු වගෙයි. ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබ සමඟ වන සේක්වා’ යි” කීවා ය. එවිට රජ්ජුරුවෝ කාන්තාව අමතමින්, “මා ඔබෙන් අසන්නට යන ප්‍රශ්නයට පිළිතුරු මගෙන් සඟවන්න එපා” යි කීවේ ය. “කියන්න, මා ස්වාමින් වන රජ්ජුරුවනි” යි කාන්තාව කීවා ය. රජු කතා කරමින්, “මේ හැම දේ සමඟ ඔබට පිටුපසින් ඇත්තේ යෝවාබ්ගේ අත නො වේ දැ?” යි ඇසී ය. කාන්තාව පිළිතුරු දෙමින්, “මගේ ස්වාමියා වන රජ්ජුරුවනි, ඔබතුමා ජීවත් වන්නා සේ ම මගේ ස්වාමියා වන රජ්ජුරුවන් කී දෙයින් දකුණට හෝ වමට හෝ හැරෙන්නට කිසිවකුටත් නුපුළුවන. සැබවින් ම මෙසේ කිරීමට මට උපදෙස් දුන්නේත්, ඔබේ සේවිකාවගේ මුවට මේ සියලු වචන දුන්නේත් ඔබේ සේවක යෝවාබ් ය. ඔබේ සේවක යෝවාබ් මෙසේ කළේ පවතින තත්වය වෙනස් කරන පිණිස ය. දෙවියන්වහන්සේගේ දූතයකුගේ බඳු ප්‍රඥාව ඇති මගේ ස්වාමියා වූ රජතුමා දේශයේ සිදුවන හැම දෙයක් ගැන ම දනී” යැයි කීවා ය. ඉන්පසු රජු යෝවාබ්ට කතා කොට, “බොහොම හොඳයි. මම එය කරන්නම්. ගොසින්, අබ්සලොම් තරුණයා ආපසු කැඳවාගෙන එන්නැ” යි කීවේ ය. එවිට රජුට ගෞරවය දක්වමින්, යෝවාබ් මුණින් තලා වැටුණේ ය. රජුට ආශිර්වාද කරමින්, රජු ඇමතූ යෝවාබ්, “මගේ ස්වාමියාණන් වන රජතුමනි, ඔබගේ ඇස් හමුවේ ඔබගේ සේවකයා ප්‍රසාදය ලද වග අද ඔහු දැනගත්තේ ය. මන්ද රජතුමා එතුමාගේ සේවකයාගේ ඉල්ලීම ඉටු කළ බැවිනි” යි කීවේ ය. යෝවාබ්, ගෙෂූර් බලා පිටත් ව ගොස්, අබ්සලොම් ආපසු යෙරුසලමට කැඳවාගෙන ආවේ ය.

මෙයට අදාළ වීඩියෝ