2 සාමුවෙල් 13:8-14
2 සාමුවෙල් 13:8-14 SCV
එබැවින් තාමාර් තම සහෝදර අම්නෝන්ගේ නිවසට ගියා ය. ඔහු වැතිරී හුන්නේ ය. ඈ පිටි මිශ්‍රණය අනා, ඔහු ඉදිරිපිටදී රොටි තනා, ඒවා පිලිස්සුවා ය. ඉන්පසු ඈ බඳුන ගෙන, ඔහුට රොටි පිළිගැන්වූවා ය. එහෙත් ඒවා කෑම ප්‍රතික්ෂේප කළ අම්නෝන්, “හැම කෙනකු ම මෙතැනින් ඉවතට යවන්නැ” යි කීවේ ය. එවිට සැවොම ඔහු වෙතින් ඉවත් වූහ. ඉන්පසු අම්නෝන් තාමාර්ට අඬගසා, “ඔබේ අතින් කෑම කන පිණිස, මගේ නිදන කාමරයට කෑම ගෙනෙන්නැ” යි කීවේ ය. තාමාර් තමා හැදූ කැවිලි, තම සහෝදර අම්නෝන්ගේ නිදන කාමරයට ගෙන ගියා ය. ඔහුට කෑමට ඇය ඒවා ඔහු වෙත ගෙන ගිය කල, ඇය අල්ලා ගත් ඔහු, “එන්න, මා සහෝදරී මා හා යහනට එන්නැ” යි කීවේ ය. ඈ උත්තර දෙමින්, “එපා මා සොහොයුර, මට බලහත්කාරකමක් නො කරන්න. ඉශ්‍රායෙල්හි එබන්දක් නො සිදු විය යුතුයි. මෙබඳු නින්දිත ක්‍රියාවක් නො කරන්න. මා ගැන හිතන්න; මා කෙලෙස ඒ අවමානය සඟවා ගන්න ද? ඔබ ගැන සිතන්න; ඔබ ඉශ්‍රායෙල්හි නින්දිත විගඩමෙක් වනු ඇත. එනිසා කරුණාකර රජ්ජුරුවන් සමඟ කතා කර ගන්න. ඔහු ඔබට මා නො දී සිටින්නේ නැතැ” යි කීවා ය. එහෙත් ඔහු ඇයට සවන් දුන්නේ නැත. ඔහු ඇයට වඩා ශක්තිමත් වූ බැවින්, ඔහු ඇය දූෂණය කළේ ය.

