2 සාමුවෙල් 13:1-17

2 සාමුවෙල් 13:1-17 SCV

තවද කලකට පසු මෙසේ සිදු විණ. දාවිත්ගේ පුත් අබ්සලොම්ට සුරූපී සහෝදරියක වූවා ය. ඇගේ නම තාමාර් ය. දාවිත්ගේ පුත් අම්නෝන් ඇයට පෙම් බැන්දේ ය. අම්නෝන් තම සහෝදරිය වූ තාමාර් නිසා කොතරම් සිත් තැවුලට පත් වූයේ ද යත් ඔහු රෝගාතුර විය. මන්ද ඇය කන්‍යාවියක වූ නිසා ඇයට කිසිවක් කිරීමට තමාට නො හැකි බව ඔහුට පෙනුණේ ය. අම්නෝන්ට, යෝනාදාබ් නම් වූ මිතුරෙක් සිටියේ ය. ඔහු දාවිත්ගේ සහෝදර ෂිමෙයාගේ පුත්‍රයා ය. ඔහු උපාය දක්ෂයෙකි. ඔහු අම්නෝන් අමතමින්, “රාජ පුත්‍රය, ඇයි මේ උදයෙන් උදය ඔබ මෙතරම් ඇදිලා ගිහිල්ලා? ඇයි මට නො කියන්නේ?” යි ඇසී ය. අම්නෝන් පිළිතුරු දෙමින්, “මගේ සහෝදර අබ්සලොම්ගේ සොහොයුරිය වන තාමාර්ට මම ආලය කරමි” යි කීවේ ය. යෙහෝනාදාබ් උපදෙස් දෙමින්, “යහනේ වැතිරී, අසනීප වග අඟවන්න. ඔබ බලන්නට ඔබේ පියා පැමිණි කල, ඔහුට කතා කොට, ‘මගේ සහෝදරී, තාමාර් පැමිණ, මට අහරට රොටි දෙනවාට කැමතියි; ඇය මා ඉදිරිපිට අහර පිළියෙල කළා වේ. එවිට මම ඒ දෙස බලා සිට, ඇගේ අතින් අහරක් ගන්නම්’ කියා කියන්නැ” යි කී ය. එබැවින් අම්නෝන් වැතිරී, අසනීප වග ඇඟවී ය. ඔහු බලන්නට රජු පැමිණි කල, අම්නෝන් ඔහු අමතමින්, “මගේ සහෝදරිය, තාමාර් පැමිණ මා ඉදිරිපිට කැවිලි සෑදුවා වේ; එවිට ඇගේ අතින් ඒවා භුක්ති විඳින්නට මට හැකි යැ” යි කීවේ ය. දාවිත් රජ මැදුරේ තාමාර්ට පණිවුඩ යවමින්, “ඔබේ සහෝදර අම්නෝන්ගේ නිවසට ගොස්, ඔහුට කෑමක් හදා දෙන්නැ” යි දැන්වී ය. එබැවින් තාමාර් තම සහෝදර අම්නෝන්ගේ නිවසට ගියා ය. ඔහු වැතිරී හුන්නේ ය. ඈ පිටි මිශ්‍රණය අනා, ඔහු ඉදිරිපිටදී රොටි තනා, ඒවා පිලිස්සුවා ය. ඉන්පසු ඈ බඳුන ගෙන, ඔහුට රොටි පිළිගැන්වූවා ය. එහෙත් ඒවා කෑම ප්‍රතික්ෂේප කළ අම්නෝන්, “හැම කෙනකු ම මෙතැනින් ඉවතට යවන්නැ” යි කීවේ ය. එවිට සැවොම ඔහු වෙතින් ඉවත් වූහ. ඉන්පසු අම්නෝන් තාමාර්ට අඬගසා, “ඔබේ අතින් කෑම කන පිණිස, මගේ නිදන කාමරයට කෑම ගෙනෙන්නැ” යි කීවේ ය. තාමාර් තමා හැදූ කැවිලි, තම සහෝදර අම්නෝන්ගේ නිදන කාමරයට ගෙන ගියා ය. ඔහුට කෑමට ඇය ඒවා ඔහු වෙත ගෙන ගිය කල, ඇය අල්ලා ගත් ඔහු, “එන්න, මා සහෝදරී මා හා යහනට එන්නැ” යි කීවේ ය. ඈ උත්තර දෙමින්, “එපා මා සොහොයුර, මට බලහත්කාරකමක් නො කරන්න. ඉශ්‍රායෙල්හි එබන්දක් නො සිදු විය යුතුයි. මෙබඳු නින්දිත ක්‍රියාවක් නො කරන්න. මා ගැන හිතන්න; මා කෙලෙස ඒ අවමානය සඟවා ගන්න ද? ඔබ ගැන සිතන්න; ඔබ ඉශ්‍රායෙල්හි නින්දිත විගඩමෙක් වනු ඇත. එනිසා කරුණාකර රජ්ජුරුවන් සමඟ කතා කර ගන්න. ඔහු ඔබට මා නො දී සිටින්නේ නැතැ” යි කීවා ය. එහෙත් ඔහු ඇයට සවන් දුන්නේ නැත. ඔහු ඇයට වඩා ශක්තිමත් වූ බැවින්, ඔහු ඇය දූෂණය කළේ ය. අම්නෝන් ඉන්පසු දැඩි වෛරයකින් ඇයට වෛර කරන්නට වන්නේ ය. ඇත්තෙන් ම ඔහු ඇයට ආලය කළාට වඩා, බොහෝ වැඩියෙන් ඔහු ඇයට වෛර කරන්නට වන්නේ ය. “නැගිට, පලයන් යන්නැ” යි අම්නෝන් ඇයට කීවේ ය. “එපා! මා සහෝදරය, මා පිට මං කිරීම දැනට ම ඔබ මට කළ අපරාධයට වඩා බරපතළ යැ” යි ඈ කීවා ය. එහෙත් ඔහු ඇයට කන් දුන්නේ නැත. ඔහු තමාට සේවය කළ තරුණයාට කතා කොට, “මේ ස්ත්‍රිය මා ඉදිරියෙන් පිටතට ඇද දමා, දොර අගුල්ලනු” යි කී ය.