2 සාමුවෙල් 11:14-27

2 සාමුවෙල් 11:14-27 SCV

පසු දා උදෑසන දාවිත්, යෝවාබ්ට ලිපියක් ලියා ඌරියා අත එය යැවී ය. ඔහු එහි ලියා යැව්වේ, “සටන දරුණු ව පවතින තැනක ඉදිරි පෙළෙහි ඌරියා සිටුවන්න; පහර කා, ඔහු මැරී වැටෙන්නට හැර එතැනින් පසු බසින්න” යනුවෙනි. එබැවින් යෝවාබ් එම පුරවර වටලා සිටියදී, වඩාත් ප්‍රබල සතුරන් සිටිතැයි ඔහු සිතූ තැනක ඌරියා සිටුවී ය. එපුර වාසීහු පිටත් ව අවුත්, යෝවාබ්ට එරෙහිව සටන් වැදුණු කල, දාවිත්ගේ හේවායින්ගෙන් ඇතමෙක් මැරී වැටුණහ. හිත්තීය ඌරියා ද මැරුම් කෑවේ ය. යෝවාබ් යුද්ධය පිළිබඳ සම්පූර්ණ විස්තරයක් දාවිත්ට දන්වා යැවී ය. ඔහු පණිවුඩකරුට උපදෙස් දෙමින්, “යුද්ධය ගැන සියලු තොරතුරු රජ්ජුරුවන්ට දන්වා නිම වූ පසු, රජ්ජුරුවන් කෝපයෙන් ඇවිළ, නුඹට මෙසේ කියතහොත්, ‘සටන් වදින්නට නුඹලා පුරවරයට ඒ තරම් ළං වුණේ ඇයි? පවුරේ සිට ඔවුන් හී ගස් විඳිනු ඇතැයි නුඹලා දැන සිටියේ නැති ද? යෙරුබ්බෙෂෙත්ගේ පුත් අබිමෙලෙක් මැරුවේ කවුරු ද? ඔහු මරා දමන පිණිස තේබේස්හි කාන්තාවක් පවුරේ සිට ඇඹරුම් අත්ගලක් ඔහු පිට හෙළුවා නො වේ ද? ඇයි ඒ තරම් පවුරට ළං වුණේ?’ යි කියාවි. ඔහු ඔබෙන් එසේ ඇසුවහොත්, එවිට ඔබ, ‘ඔබේ සේවක හිත්තීය ඌරියා ද මැරුණා’ යි ඔබ ඔහුට කිය යුතු යැ” යි කීවේ ය. එවිට පණිවුඩකරුවා පිටත් ව ගොස්, තමා අත යෝවාබ් කියා යැවූ සියලු පුවත් දාවිත්ට සැල කළේ ය. පණිවුඩකරුවා දාවිත් අමතමින්, “ඒ මිනිස්සු අප පරදවමින් අපට එරෙහිව එළිමහනට පිටතට ආවා. අපි නගර දොරටු පිවිසුම දක්වා ම ඔවුන් ආපසු පලවා හැරියා. එවිට දුනුවායෝ පවුරේ ඉඳන් ඔබේ සේවකයින්ට හී ගස් විද්දා; රජුගේ සේවකයින් ඇතැම් දෙනෙක් මැරුණා. තවද ඔබේ සේවක හිත්තීය ඌරියා ද මළා” යි කීවේ ය. එවිට දාවිත් පණිවුඩකරුවා අමතමින්, “යෝවාබ්ට මෙසේ කියන්න: ‘මේ කාරණය ඔබගේ ඇස් ඉදිරිපිට දොම්නසක් නො වේවා! අසිපත එකකු නසා දමන්නාක් මෙන් අනෙකා ද නසා දමයි. පුරවරයට එරෙහි ප්‍රහාරය දැඩි කොට, එය විනාශ කර දමන්න.’ යෝවාබ් දිරිමත් කිරීමට එසේ කියන්නැ” යි පැවසී ය. තම සැමියා මළ පුවත ඌරියාගේ බිරිඳට සැල වූ කල, ඈ තම සැමියා වෙනුවෙන් ශෝක වූවා ය. ශෝක වීමේ කාලය ගෙවුණු පසු, දාවිත් තම නිවසට ඇය ගෙන්වා ගත්තේ ය. මෙසේ ඈ ඔහුට බිරිඳ වූවා ය. ඈ ඔහුට පුතකු බිහි කළා ය. එහෙත් දාවිත් කර තිබූ දේ ස්වාමින්වහන්සේ අප්‍රසන්න කරවී ය.

මෙයට අදාළ වීඩියෝ