2 රාජාවලිය 8:1-6

2 රාජාවලිය 8:1-6 SCV

තවද එලීෂා තමා විසින් ජීවනයට යළි පැමිණ වූ ළමයාගේ මවට කතා කොට, “ස්වාමින්වහන්සේ සාගතයක් නියම කර ඇත; දේශයේ අවුරුදු හතක කාලයකට එය බල පැවැත් වේ; එබැවින්, ඔබේ පවුලේ උදවිය සමඟ ඔබට යා හැකි ස්ථානයකට ගොස්, එහි කල් ගත කරන්නැ” යි කියා තිබිණ. කාන්තාව ද දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා පැවසූ පරිදි කළා ය. ඈ තම පවුලේ අය සමඟ පිටත් ව ගොස්, පිලිස්තිවරුන්ගේ දේශයෙහි අවුරුදු හතක් ගත කළා ය. අවුරුදු හත අවසානයේ පිලිස්තිවරුන්ගේ දේශයේ සිට ආපසු පැමිණි ඈ, තමාගේ නිවස සහ ඉඩම ගැන ආයාචනා කරන්නට රජු වෙත ගියා ය. මේ අතර දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාගේ සේවක ගෙහාසී සමඟ කතා කරමින් සිටි රජු, “එලීෂා කර ඇති සියලු බලවත් දේවල් මට කියන්නැ” යි කීවේ ය. ගෙහාසී, එලීෂා විසින් මළ අයකුට ජීවනය දුන් සැටි රජුට පවසද්දී ම, මෙන්න! එලීෂා මරණයෙන් යළි ජීවනයට පැමිණ වූ පුත්‍රයාගේ මව තමාගේ නිවසත්, ඉඩමත් ගැන ඉල්ලීමට රජු වෙත ආවා ය. එවිට ගෙහාසී, “මගේ ස්වාමි වූ රජතුමනි, මැයයි ඒ කාන්තාව, එලීෂා යළි ජීවනයට ගෙනා ඇගේ පුත්‍රයා මොහු යැ” යි පැවසී ය. රජු ඒ පිළිබඳව එම කාන්තාවගෙන් විමසී ය. ඈ ඔහුට පැවසුවා ය. ඉන්පසු ඇගේ කාරණයට නිලධාරියකු පත් කළ රජු, “ඇය සතු ව තිබූ සියල්ලත්, ඇය දේශයෙන් පිටත් ව ගිය දවසේ සිට අද දක්වා වතු පිටිවල ආදායමත් ඇයට ආපසු ලබා දෙන්නැ” යි නියම කළේ ය.

මෙයට අදාළ වීඩියෝ

2 රාජාවලිය 8:1-6 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය