එලීෂා කතා කොට, “ස්වාමින්වහන්සේගේ වචනයට සවන් දෙන්න; ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: ‘හෙට මේ වේලාව වන විට පිටි සියාවක ප්‍රමාණයක් ෂෙකෙලයකට ද යව නැළි දෙකක් ෂෙකෙලයකට ද සමාරියේ දොරටුවේදී විකිණෙනු ඇතැ’ යි” පැවසී ය.
එවිට තම බාහුවට රජු හාන්සි වී සිටි නිලධාරියා දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා අමතා, “ඔන්න, ස්වාමින්වහන්සේ ස්වර්ගයේ දොරටු විවර කළත් මේක වෙන්න පුළුවන් දෙයක් දැ?” යි ඇසී ය.
එලීෂා පිළිතුරු දෙමින්, “එය ඔබේ ම ඇස්වලින් දකිනු ඇත. එහෙත් එයින් ඔබට කන්නට ලැබෙන්නේ නැතැ” යි පැවසී ය.
මේ අතර කුෂ්ඨ රෝගය වැලඳුණු මිනිසුන් හතර දෙනෙක් පුරවරයට පිවිසෙන දොරටුව ළඟ සිට, එකිනෙකා අමතමින්, “මැරෙන තුරු අපි මෙහි සිටින්නේ කුමට ද? ‘පුරවරයට යමු’ යි අප කීවත් එහි සාගතෙන් අප මැරේවි. මෙහි නැවතී සිටියත් අප මැරේවි. එනිසා අපි අරාම් කඳවුරට ගොස්, බාරවෙමු. ඔවුන් අප නො මැරුවොත් අපට ජීවත් විය හැකියි; ඔවුන් අප මැරුවොත් අප මැරෙනවා පමණකි” යි පැවසූහ.
ඇඳිරි වැටීගෙන එන වේලාවේ ඔවුහු නැගිට අරාම්වරුන්ගේ කඳවුර වෙත ගියහ; එහෙත් ඔවුන් කඳවුර ළඟට පැමිණි කල කිසිවකු හෝ එහි සිටියේ නැත. මන්ද ස්වාමින්වහන්සේ රථවල ද අශ්වයින්ගේ ද බලවත් හමුදාවකගේ ද ඝෝෂාවක් අරාම්වරුන්ට ඇසෙන්නට සලස්වා තිබිණි. එබැවින් ඔවුහු, “මෙන්න, ඉශ්‍රායෙල් රජු අපට පහර දෙන්නට හිත්තිවරුන්ගේ ද ඊජිප්තුවරුන්ගේ ද රජුන් කුලියට අරගෙන ඇවිල්ලා” යි පවසමින්, නැගිට, ඇඳිරි වැටෙන වේලාවේදී පලා ගියහ. ඔවුහු තම කූඩාරම්, තම අශ්වයින් හා බූරුවන් අතහැර, කඳවුර ඒ හැටියෙන් ම තිබෙන්නට හැර දිවි ගලවා ගන්නට පලා ගියහ.
කුෂ්ඨ රෝගීහු කඳවුරු මායිමට පැමිණ, එහි වූ කූඩාරමකට ඇතුල් වී, කා බී, රිදී ද රන් ද වස්ත්‍ර ද ගෙන ගොස් සැඟවූහ. ආපසු පැමිණ, තවත් කූඩාරමකට ඇතුල් වූ ඔවුහු එතැනින් ද භාණ්ඩ ගෙන ගොස් සැඟවූහ.
ඉන්පසු එකිනෙකා අමතන්නට වන් ඔවුහු, “අප කරන දේ හරි නැත. අද දවස ශුභ ආරංචි ඇති දවසක්. ඒත් අප නිහඬ ව එළිවන තුරු සිටියොත්, අප දඬුවමට ලක් වෙයි. වහා ගොස්, අපි මේ වග රජ මැදුරට දන්වමු” යි පැවසූහ.
එබැවින් ඔවුහු ගොස්, පුර දොරටුපාලයන්ට හඬ ගසා, “අරාම්වරුන්ගේ කඳවුරට අප ගියා. ඔන්න! මිනිසකු තියා මිනිස් කටහඬක්වත් එහි නෑ. එහි සිටියේ බැඳ දැමූ අශ්වයින් හා බූරුවන් පමණයි. කූඩාරම් ද ඒ හැටියට ම තිබේ යැ” යි දැන්වූහ. දොරටුපාලයෝ එපුවත් මොර ගසා දැන්වූහ. එවිට එය රජ මැදුර පුරා ප්‍රචලිත ව ගියේ ය.
රජු එම රාත්‍රියේ නැගිට, තම නිලධාරීන් අමතමින්, “මා ඔබට කියන්නම් අරාම්වරුන් අපට කර ඇති දේ; අප හාමතේ සිටින වග ඔවුන් දන්නවා; ඒ නිසා ඔවුන් කඳවුර අත්හැර ගොස්, ගම් පෙදෙසේ සැඟවී, ‘නියතයෙන් ම ඔවුන් පිටතට ඒවි. එවිට අපි ඔවුන් පණ පිටින් අල්ලා, පුරයට ඇතුල් වෙමු’ යි සිතමින් සිටිනවා ඇති” යි පැවසී ය.
ඔහුගේ නිලධාරීන්ගෙන් කෙනෙක් අදහස් දක්වමින්, “දැනට මෙපුර ඉතිරි ව සිටින අශ්වයින් පස් දෙනකු රැගෙන මිනිසුන් කීප දෙනකු යවන්න. ඒ කීප දෙනා මේ මුළු ඉශ්‍රායෙල් සමූහයා හා සමානයි. සැබවින් ම ඔවුන් දැනටමත් විනාශයට ගොදුරු ව සිටින ඉශ්‍රායෙල් සමූහයා හා සමානයි. එබැවින් කුමක් සිදු වී දැයි දැනගන්නට ඔවුන් පිටත් කරමු” යි කීවේ ය.
එබැවින් ඔවුහු අශ්වාරෝහකයින් දෙදෙනකු තෝරා ගත්හ. රජු ඔවුන් අරාම් හමුදාව පසු පස යවමින්, “මොනවද සිදු වී ඇත්තේ කියා ගොස් බලන්නැ” යි කීවේ ය. ඔවුහු යොර්දානය දක්වා ඈතට ඔවුන් ලුහුබැඳ ගියහ. අරාම්වරුන් ඉක්මනින් පලා යෑමේදී මග දිගට වීසි කර තිබූ ඇඳුම් හා ආම්පන්න මොවුන්ට හමු විය. පණිවුඩකරුවෝ ආපසු අවුත්, ඒ වග රජුට දැන්වූහ. එවිට ජනයා පිටත් ව ගොස්, අරාම් කඳවුර කොල්ල කෑහ. එසේ ස්වාමින්වහන්සේ පවසා තිබූ වචනය පරිදි පිටි නැළියක් ෂෙකෙලයකටත්, යව සියා දෙකක් ෂෙකෙලයකටත් විකිණිනි.
තවද රජු විසින් දොරටු කාරියට පත් කළේ, තම බාහුව පිට රජු හාන්සි වී යන නිලධාරියා ය. ඔහු දොරටු පිවිසුමේදී ජනයාට පෑගී මිය ගියේ ය. ඒ, රජු දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාගේ නිවසට ගිය අවස්ථාවේදී, ඔහු පවසා තිබූ පරිදි ය. එය සිදු වූයේ, “හෙට මේ වේලාව වන විට පිටි සියාවක ප්‍රමාණයක් ෂෙකෙලයකට ද යව නැළි දෙකක් ෂෙකෙලයකට ද සමාරියේ දොරටුවේදී විකිණෙනු ඇතැ” යි දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා රජුට කියා තිබූ පරිදි ම ය.
එම නිලධාරියා, “ඔන්න, ස්වාමින්වහන්සේ ස්වර්ගයේ දොරටු විවර කළත්, මේක වෙන්න පුළුවන් දැ!” යි දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාට කියා තිබිණි. එවිට දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාගේ පිළිතුර වූයේ, “එය ඔබේ ම ඇස්වලින් දකිනු ඇත. එහෙත් ඔබට එයින් කිසිවක් කෑමට ලැබෙන්නේ නැත” යන්න ය. හරියට ම ඔහුට සිදු වූයේ එය ම ය; දොරටු පිවිසුමේදී මිනිසුන් විසින් ඔහු පාගා දැමිණි. ඔහු මිය ගියේ ය.