2 රාජාවලිය 3:20-27
2 රාජාවලිය 3:20-27 SCV
පසු දා උදෑසන යාග පූජා ඔප්පු කරන වේලාවේ මෙන්න! ඒදොම් දෙසින් වතුර ගලා එන්නට වී, දේශය වතුරෙන් පිරී ගියේ ය. මේ අතර තමන්ට එරෙහිව යුද වදින්නට රජවරුන් පැමිණ සිටින වග සියලු මෝවබ්වරුන්ට අසන්නට ලැබිණ. එබැවින් අවි දරන්නට හැකි වූ තරුණ-මහලු හැම කෙනකු ම කැඳවන ලදුව, දේශ සීමාවේ ස්ථානගත කරනු ලැබූහ. ඔවුන් අලුයම් උදය අවදි වූ කල, හිරු රැස් වතුර පිට වැටී දිළිසෙන්නට විය. මෝවබ්වරුන්ට තමන් ඉදිරිපිට ඇති ඒ වතුර පෙනුණේ රතු පාටට ලේ වැනි ව ය. “මෙන්න ලේ! ඒ රජවරුන් සටන් කොට, එකිනෙකා මරා ගන්නට ඇත. මෝවබ්වරුනි, දැන් කොල්ලය ගනිල්ලා” යි ඔවුහු පැවසූහ. එහෙත් මෝවබ්වරුන් ඉශ්‍රායෙල් කඳවුර වෙත ආ කල ඉශ්‍රායෙල්වරු නැගිට, ඔවුන් පලා යන තුරු ඔවුන්ට පහර දුන්හ. ඉශ්‍රායෙල්වරු එම දේශය ආක්‍රමණ කොට, මෝවබ්වරුන් ඝාතන කළහ. ඔවුහු එම නගර විනාශ කොට, හොඳ කෙත් වතු සියල්ල ම වැසී යන තුරු ඒවා ගලින් පිරවූහ. සියලු උල්පත් වසා දැමූ ඔවුහු සියලු හොඳ ගස් කපා දැමූහ. ආරක්ෂා වී තිබුණේ කීර්-හරෙසෙත් නගරය පමණි. එහෙත් ගල් පටියෙන් විදින්නෝ එය වටලා, ඊට පහර දුන්හ. මෝවබ් රජු තමන්ට විරුද්ධ ව යුද්ධය උග්‍ර වූ වග දැක, සේනාව බිඳගෙන ඒදොම් රජු වෙත යන්නට කඩුගත් මිනිසුන් හත්සියයක් කැටුව ගිය නමුදු නො හැකි විය. එවිට ඔහු තමාට පසු රජකමට පත් වන්නට සිටි තම කුලුඳුල් පුතු යාග පූජාවක් හැටියට පුරවරයේ පවුර පිට යාග කළේ ය. ඉශ්‍රායෙල්වරුන්ට එරෙහිව මහත් උදහසක් පැමිණියේ ය; ඔවුහු පුරවරයෙන් ඉවත් වී තමන්ගේ ම රටට හැරී ගියහ.

